News

පරිසර හානිය ආවරණය කරන්න ‘නොරොච්චෝල’ විදුලි ඒකකයට රුපියල් 10.23ක්

ලක්විජය (නොරොච්චෝලේ) ගල් අඟුරු විදුලි බලාගාරයෙන් අවට ජනතාවට සහ පරිසරයට සිදුවන හානිය ආවරණය කිරීම සඳහා එම බලාගාරෙයෙන් ජනනය කෙරෙන සෑම විදුලිය ඒකකයකටම අවම වශයෙන් රුපියල් 10.23 ක් එකතු කෙරෙන බව විශේෂඥ කණ්ඩායමක් අනාවරණය කර ඇත.

බලාගාරය මගින් සිදුකෙරෙන හරිතාගාර සහ අනෙකුත් වායු විමෝචනය, සම්පත් ක්ෂයවීම, ගල් අඟුරු ප්‍රවාහනයේදී තාප දූවිලි අංශු බැහැර වීම, බැර ලෝහ බැහැර කිරීම සහ ජල හා ශබ්ද දූෂණය අවම කිරීම සඳහා දරනු ලබන අතිරේක පිරිවැය හේතුවෙන් එහි ජනනය කෙරෙන සෑම විදුලිය ඒකකයකටම මෙලෙස අමතර පිරිවැයක් එක්වන බව ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

පසුගිය වසරේදී ලෝක බැංකුව ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙරට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ගල් අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් මිල ගණන් දෙකක් ඉදිරිපත් කර ඇත.

මහජන උපයෝගිතා කොමිසම ගල් අඟුරු කිලෝවොට් පැයක විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ශත 05.86 ක පිරිවැයක් (බලාගාරයේ වෙනත් පිරිවැය නොමැතිව) ගණනය කර ඇති අතර, විදුලිබල මණ්ඩලයේ එම ගණනය කිරීම ඇමරිකා ඩොලර් ශත 11 කි. විදුලිබල මණ්ඩලයේ ගණනය කිරීම්වලට අනුව එහි සම්පූර්ණ අගය රුපියල් 18.60 ක් වේ.

අදාළ පර්යේෂණ කණ්ඩායමේ එම අධ්‍යයනය සඳහා කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සපුගස්කන්ද බලාගාරයන්ද යොදාගෙන ඇත. එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඒ සියල්ලට වඩා ලක්විජය බලාගාරයෙන් සිදුවන පාරිසරික හානිය ඉහළ අගයක් ගන්නා බවයි.