News

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් – වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

බස්නාහිර, මධ්‍යම, ,නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වනවා.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.