පළමු කොවිඩ් එන්නත අගමැතිට
ඊශ්‍රායලයද එරට ඇතැම් පිරිස් වෙත කොවිඩ් එන්නත ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ. එන්නත ලබා ගත් පළමු පුද්ගලයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු වීමද විශේෂත්වයක් විය. එරට සෞඛ්‍ය සේවකයන්ටත්, වැඩිහිටි නිවාසවල සිටින වියපත් පුද්ගලයන්ටත් පළමු වටයේ දී එන්නත ලබා දෙනු ඇති බව සඳහන් වේ. තමා මුලින්ම එන්නත ලබා ගත්තේ ජනතාව ඒ සඳහා උනන්දු කිරීමේ අදහසින් බවද නෙතන්යාහු මාධ්‍ය හමුවේ පවසා තිබිණි. ‘මා මෙම එන්නත ගැන විශ්වාසය තබනවා. මෙය ඉතා අපූරු අවස්ථාවක්’ එරට ෂේබා වෛද්‍ය මධ්‍යස්ථානයේදී ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත ලබා ගනිමින් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඇතැම් පිරිස් මෙම එන්නත් සම්බන්ධයෙන් තවමත් සැක සිතින් පසුවන නිසා ඔවුන් තුළ ඒ පිළිබඳ විශ්වාසය ඇති කරනු පිණිස රටවල නායකයෝ මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ එන්නත ලබා ගනිමින් සිටිති. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වීමට සිටින ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්ද අද (21දා) එන්නත ලබා ගැනීමට නියමිත බැව් සඳහන් වේ. එරට උප ජනාධිපතිවරයා වන මයික් පෙන්ස් සහ ඔහුගේ බිරිඳ කැරන් පෙන්ස් පසුගිය සිකුරාදා එන්නත ලබා ගත්හ. එමෙන්ම කතානායිකාව වන නැන්සි පෙලෝසිද එදින එන්නත ලබාගෙන තිබිණි.
සෞදි අරාබියේද එන්නත් වැඩසටහන ආරම්භ කර තිබේ. එහි සෞඛ්‍ය ඇමැති තවුෆික් අල්-රබියාද එන්නත ලබාගත් පළමු පුද්ගලයන් අතර විය. මේ අතර ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වැනි නායකයන්ද තමුන් ප්‍රසිද්ධියේ එන්නත ලබා ගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.
සහන් වික්‍රමගේ
