News

පාකිස්තාන ඔත්තු පරෙවියෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

පාකිස්තාන ඔත්තුකරුවකු යැයි චෝදනා ලැබ සිටින පරවියකු ඉන්දියාවේ පොලිසිය වෙත භාරදී තිබේ.

කාශ්මීරයේ කටුවා දිස්ත්‍රික්කයේ වාසය කරන ගීතාදේවී නම් කාන්තාව විසින් තමාගේ නිවසට පසුගිය 24 වැනිදා වැරදීමකින් පැමිණි මෙම ඔත්තුකරුවා සොයාගෙන තිබේ.

මෙම පරෙවියාගේ ශරීරයේ රෝස පැහැය ආලේප කර තිබී ඇත. පාදයක අංකයක් සහිත මුද්දක් රඳවා තිබී ඇත. කටුවා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශයිලේන්ද්‍ර කුමාර් මිශ්‍රා ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත් සේවයට පවසා ඇත්තේ මෙම පක්ෂියා කුමන ස්ථානයක සිට පැමිණියේදැයි මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවය. නමුත් පරෙවියා පාකිස්තාන ඔත්තුකරුවකු බවට සැක කෙරෙන බව ඔහු කීය.

‘‘සංක්‍රමණයේදී පක්ෂීන්ට සීමාවන් නොමැති අතර බොහෝ පක්ෂීන් අන්තර්ජාතික දේශසීමා හරහා පියාසර කළද මෙම පරෙවියාගේ සිරුරේ වර්ණ ගන්වා සහ සංකේතවත් කළ මුද්දක් පලඳවා තිබීම පැහැදිලිවම සැකයට භාජනය වීමට හේතුවකි. එම නිසා පරීක්ෂණ අවසන් වනතුරු පක්ෂියා පොලිස් අත්අඩංගුවේ පසුවනු ඇත’’ යැයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාව හා පාකිස්තානය අතර ඔත්තු බැලූ පරෙවියකු අල්ලාගත් පළමු අවස්ථාව මෙය නොවේ. 2015 වර්ෂයේදී ද මෙවර පරෙවියා අල්ලාගත් මාන්වාල් නමැති ගම්මානයට සැතපුම් දෙකක් දුරින් පිිහිටි දේශසීමාවේදී පරෙවියකු අල්ලාගෙන තිබිණි. එම පරෙවියාගේ වලිගයේ උර්දු බසින් ‘තෙසිල් ෂකර්ගාර්, නාරෝවාල් දිස්ත්‍රික්’ යනුවෙන් සටහන් කර තිබී ඇති අතර එම පක්ෂියාද ‘සැක සහිත ඔත්තුකරුවන්ගේ’ ලැයිස්තුවට ඇතුළත් කර ඇත.