පාතාල චමියා පොලිස් වෙඩි පහරින් මරුට
අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සිටි තවත් ප්‍රධාන වෙඩික්කරුවකු වන ‘චමියා’ පොලිසියට වෙඩි තැබීමට ගත් උත්සාහයක දී වෙඩි වැදීමෙන් මරුමුවට පත්වූ බව පොලිසිය කීවේය.
බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු සතු ගිනිඅවියක් උදුරාගෙන පලායෑමට උත්සාහ කළ මෙහොතේ පෙරේදා (22 වැනිදා) මධ්‍යම රාත්‍රියේ පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව මොහු මියගොස් ඇත.
ගම්පහ ඔරුතොට පාරේ කළු පාලම අසල දී ඇති වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් කොස්තාපල් රත්නායක (40737) අතට වෙඩි වැදී රෝහල් ගත කර තිබේ.
චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් ‘චමියා’ යුද හමුදාවෙන් පලාගිය අයකු වන අතර, කලක් යුද හමුදාවේ පාපැදි ශූරයකු ලෙස ද ප්‍රසිද්ධව සිට ඇත.
කඩුවෙල අධිකරණය තුළට ආබාධියකු ලෙස වෙස් වලාගෙන ගොස් නඩුවකට රැගෙන විත් සිටි පාතාල නායක රණාලේ සමයංට අධිකරණයේදීම පිස්තෝලයකින් වෙඩි තැබුවේ මෙම සැකකරුය. 2015 සැප්තැම්බර් 18 වැනිදා මෙම ප්‍රහාරය සිදු විය. එහිදී සමයං වෙඩි වැදී තුවාල ලැබීය.
අංගොඩ ලොක්කාගේ කල්ලියේ සැලැසුමකට අනුව එම ප්‍රහාරය සැලැසුම් කර ඇති අතර එම ප්‍රහාරයෙන් දින හයකට පසු සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත් විය.
2017 පෙබරවාරි 27 වැනිදා කළුතර, එතනමඩලදී සමයං රැගෙන ආ බස් රථයකට වෙඩි තැබීමට ගිය අංගොඩ ලොක්කාගේ කණ්ඩායමට ටී 56 වෙඩික්කරුවකු ලෙස චමියා එක්ව ඇත.
සැකකරුව 2001 වසරේදීත් මිනිස් ඝාතනයකට පෑලියගොඩ පොලිස් භාරයට ගෙන තිබිණි.
මිනිස් ඝාතන හා අපරාධවලට සම්බන්ධ ‘චමියා’ අංගොඩ ලොක්කාගේ ඉඩම් ජාවාරම් හා කුඩු ජාවාරම්වලට ද සම්බන්ධ අයකු බව පොලිසිය කීවේය.
මෙම සැකකරු අංගොඩ ලොක්කාගේ කල්ලියේ කාන්තාවකට අයත් කැලණිමුල්ලේ නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරු මත පෑලියගොඩ පොලිස් ඒකකයේ නිලධාරින් එහි ගොස් ඇත. එහි දී අදාළ කාන්තාව හා චමියා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් එකකුත් මිලිග්‍රෑම් ගණනක් සමග බව පොලිසිය පැවැසීය.
මෙම දෙමහල් නිවස ඉදිරිපිටට පමණක් සී.සී.ටී.වී. කැමරා හයක් යොදා යුද හමුදා කඳවුරුවල ආරක්ෂාවට යොදන කම්බි රෝල් තාප්පය දිගේ යොදා තිබූ බවද පොලිසිය කීවේය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී එතනමඩල බන්ධනාගාර බස් ප්‍රහාරයට ටී 56 අවි හතරක් හා පිස්තෝලයක් රැගෙන ගිය බවත්, අංගොඩ ලොක්කා ගිනි අවි දුන් බවත් හෙළිකර ඇත.
ප්‍රහාරයට ඇඳගෙන ගිය පොලිස් නිල ඇඳුම් අතුරුගිරියේත්, කුඩු ග්‍රෑම් 200ක් හා මිලිමීටර් නවයේ ගිනිඅවියක් ගම්පහ නිවසක තිබෙන බවත් හෙළිකරගෙන තිබේ.
එම තොරතුරු අනුව ගම්පහ බලා සැකකරුව රැගෙන යන අතරේ පොලිස් කොස්තාපල් රත්නායකගේ පිස්තෝලය උදුරා ගෙන ඇත. එහි දී චමියා සමගින් පිස්තෝලයට පොරබදද්දී පොලිස් ජීප් රථයට හා රත්නායකගේ අතට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ බව පොලිසිය පැවැසීය.
පොලිස් කොස්තාපල්ගේ ගිනි අවිය අතට ගත් ‘චමියා’ ග්‍රහණයට ගැනීමට නොහැකි තැන ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක හේරත් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා චමියා මියගිය බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
මෙහි දී තුවාල ලද පොලිස් කොස්තාපල් හා චමියා ගම්පහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ. පොලිස් කොස්තාපල්වරයා සැත්කමකට භාජනය කළ බව පොලිසිය කීවේය.
ඝාතනය වූ චමියා කළුතර සිද්ධියට බන්ධනාගාරගතව සිටිය දී ඇප ලබා දී ඇත්තේ කැලණිමුල්ලේ නිවසක සඟවා සිටි කාන්තාවය. එම කාන්තාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල දී අංගොඩ ලොක්කාගේ පාතාල බලයෙන් ගොඩ කරපු ඉඩමක නිවස තනා ඇති බවත්, ඒ අසලින් තවත් නිවසක් ඉදිකරන බවත් හෙළි වී තිබේ. අංගොඩ ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් මෙම කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
හේමන්ත ලියනපතිරණ
