පාර්ලිමේන්තුවට මාර්ගෝපදේශ හදන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්
මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු රැස්වීම් සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම සඳහා මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාර්ගෝපදේශ සකස් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන්වා ගැනීමට ඊයේ (06 වැනිදා) තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී ඉහත තීරණය ගෙන ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
මන්ත්‍රීවරුන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති සභාගර්භය, කාරක සභා ශාලා, මන්ත්‍රී භෝජනාගාර ඇතුළු අනෙකුත් ස්ථාන මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් නිරීක්ෂණය කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු රැස්වීම්වලදී මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාටම සභා ගර්භයේ අසුන් ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී තීරණය කෙරෙන අතර දැනට අමුත්තන් හයසියයකට අසුන් ගත හැකි මහජන ගැලරියට ඇතුළත් කර ගන්නා පිරිස සීමා කිරීමටද තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බවත් අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්විය යුතු බවත් පාර්ලිමේන්තු නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී නව කථානායකවරයා, නියෝජ්‍ය කථා නායකවරයා, කාරක සභා නියෝජ්‍ය සභාපති තෝරාපත්කර ගැනීම සහ නව මන්ත්‍රීවරුන් දෙසීය විසිපස් දෙනා දිව්රුම් දිය යුතු බවද ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන් සභා ගැබෙහි සිටිය යුතු බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට යොමුකර ඇත.
මංගල රැස්වීමෙන් පසු ඉදිරි රැස්වීම් පවත්වන ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන්ට තීරණය කළ හැකි බවද මහ ලේකම්වරයා පවසා තිබේ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බව හෙතෙම පවසා තිබේ.
කොවිඩ් වයිරසය හොඳින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් රට තුළට වයිරසය පැමිණ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නැති නිසා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව ඉදිරි දිනකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණය නිරීක්ෂණය සඳහා එවීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත.
අජිත් අලහකෝන්/උදයජීව ඒකනායක
