පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කරන බවට පලවන වාර්තා පදනම් විරහිතයි
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රජයේ පාසල් භාවිතා කර ඇති බවට ඇතැමුන් සිදු කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසා සිටියේ හමුදා සාමාජිකයින් නිරෝධායනය කිරීම සඳහා කිසිදු පාසලක් භාවිතා කර නොමැති නමුත් අතිරේක කඳවුරු ලෙස පාසල් යොදා ගන්නා බවයි.
ත්‍රිවිධ හමුදාවන්ට ඔවුන්ගේ කඳවුරු වෙත කැඳවීම සඳහා සියලු නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ කඳවුරු වෙත වාර්තා කර ඇති බවද ඒ මහතා පවසයි.
අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට උපදෙස් දී ඇත්තේ සොල්දාදුවන්, නාවිකයින් සහ ගුවන් භටයින්ගේ සනීපාරක්ෂාව පවත්වා ගනිමින් නවාතැන් ගැනීමට තරම් ඉඩකඩ අදාළ කඳවුරුවල නොමැති බැවින් කොරෝනා වෛරසය පැතිරීම වලක්වා ගැනීමට සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම වැදගත් වන නිසා ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව පාසල්වල නවාතැන් ලබාදීමට කටයුතු කරන ලෙස බව ආරක්ෂක ලේකම් පවසයි.
මෙරට තුල සෞඛ්‍ය බලධාරීන්ගේද සහාය ඇතිව ආරක්ෂක හමුදාවන් විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 54 ක් තිබුණි.
අද වන විට නිරෝධායනයට භාජනය වෙමින් සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 3,292 ක් වන අතර අවසන් වෛද්‍ය පරීක්ෂණය සම්පූර්ණ කර නිරෝධායන සහතික ලබාගත් පුද්ගලයින් 4,526 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානවලින් තම නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
කොරෝනා වෛරස් ආසාදිත බවට සැක කෙරෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ.
පාසැල්වල නවාතැන් ගෙන සිටින අය මුහුණු ආවරණ පමණක් පැළඳ සිටින නමුත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිත ඇදුම් හා උපකරණ පැළඳ සිටින බවද පැවසූ මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීම සදාචාරාත්මකව නිවැරදි නොවන බවයි.
මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එවැනි නොමඟ යන සුළු ප්‍රකාශ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
