පාස්කු ප්‍රහාරයේ තුවාලකරුවන්ට ජයවර්ධනපුර රෝහලෙන් දිගුකාලීන ප්‍රතිකාර
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දීර්ඝ කාලීන විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති තුවාලකරුවන් තිස්නව දෙනකු ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ එකසිය තිස්නව දෙනෙක් මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර ලබති. ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට ඇතුළත් කරන රෝගීන් තිස්නව දෙනාගේ ප්‍රතිකාර වියදම සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් ලබාදීමට නියමිතය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමග කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (16 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.
‘‘මේක අපි ආශිර්වාදයක් ලෙස සලකනවා. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරියටත් සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාටත්, ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලවලටත් අපගේ ස්තුතිය පුද කරනවා’’යැයි කාදිනල් හිමියෝ පැවසූහ.
මෙම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවාය. ‘‘පසුගිය වසරේ අප්‍රේල් 21වැනිදා පාස්කු ප්‍රහාරයෙන් විශාල පිරිසක් රෝගීන් බවට පත් වුණා. කාදිනල් හිමිපාණන් බලාපොරොත්තු වුණා පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ කුඩා දරුවන්, වැඩිහිටියන්, ඇතුළු පිරිස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සම්බන්ධ කර එම රෝහලෙන් උසස් අන්දමින් ප්‍රතිකාර ලබාදීමට. ඒ අනුව පූර්ණකාලීන හා අර්ධකාලීන ආබාධිතයන්ට හා කුඩා දරුවන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදු කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට භාර දුන්නා.”
