මුල් ප්‍රහාර හයෙන් පසු තවත් දෙකක් ඇති බවට තොරතුරු දුන්නා – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණේ අප්‍රේල් 09 වැනිදා යැයි පැවසුවද, එදිනට පෙර අප්‍රේල් 07 වැනිදා තමන් දුරකතනයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරට අමතා එම බුද්ධි තොරතුර පිළිබඳ දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (17 වැනිදා) පැවසීය.
ප්‍රහාරයට සති දෙකකට පෙර සහ ප්‍රහාරය එල්ලවීමට පෙර දින රාජ්‍ය බුද්ධි සේවය වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර ඇති නිසා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාව නිසා යැයි කිව නොහැකි බව ඔහු සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයට ලද පළමු පෙර දැනුවත් කිරීම පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේ සාක්ෂිකරු කියා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 04 වැනිදා මෙරට වෙලාවෙන් පෙ.ව 10.40ට පමණ විදෙස් බුද්ධි සේවයක තොරතුරුකරුවෙකුගෙන් වට්ස් ඇප් පණිවුඩයක් ලෙස තමන්‍ට පළමු පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ලැබුණ බවය.
පසුව අදාළ පණිවුඩය පොලිස් පරික්ෂක හිමාලි හරහා රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට සහ සහකාර අධ්‍යක්ෂවරයාට යොමුකර ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදීමට තමන් නියෝග කළ බව ඔහු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
එසේම මෙම තොරතුර බුද්ධි තොරතුරක් බවට පත්කරගැනීමට එහි වියහැකිභාවය සොයාබැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කණ්ඩායමක් නැගෙනහිර පළාතට යැවූ බවද නිලන්‍ත ජයවර්ධන පැවසීය.
පසුව අප්‍රේල් 05 වැනිදා දහවල් කාලය වන විට මුල් තොරතුර ලබාදුන් තැනැත්තාගෙන් සහ තවත් තොරතුරුකරුවන්ගෙන් ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු ලිඛිතව ගෙන්වා ගත් බව නිලන්ත ජයවර්ධන සාක්ෂිදෙමින් කියා සිටියේය.
කෙසේ වෙතත් විදෙස් බුද්ධි තොරතුරුකරුවෙකුගෙන් ලද මෙම මුල් තොරතුර පුළුල් පරාසයකට විහිදුණු තොරතුරක් නිසා අදාළ තොරතුරුකරු සමග තමන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම තොරතුරු තවදුරටත් නිශ්චිත ඉලක්කගත බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කර ගැනීමට උත්සාහ කළ බව හිටපු බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.
එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ මුල් තොරතුර පුළුල් පරාසයකට විහිදී ගොස් තිබූ නිසාම එය නිශ්චිත ඉලක්කගත තොරතුරක් බවට පත්කර ගැනීමට නොහැකිවීමෙන් අවසානයේ රාජ්‍ය බුද්ධි සේවය පවා නොමග යෑමකට ලක්වූ බවයි. පසුව අදාළ තොරතුර පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව යැවීමට පිළියෙල කළද එය එදින ඔවුන් වෙත යැවීමක් සිදු නොකළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නිලන්ත ජයවර්ධන සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අතර අප්‍රේල් 06 දින දුරකථන සංවාද හතරක් සිදුව ඇති බව පෙන්වා දෙමින් එහිදී මෙම පළමු බුද්ධි තොරතුර පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළේද යන්න විමසුවාය.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ අප්‍රේල් 04 වැනිදා තමාට ලද පළමු තොරතුරු පිළිබඳ තවදුරටත් තහවුරු කරගැනීම් සිදුකරමින් සිටි බැවින් අප්‍රේල් 06 දිනද තමන් ඒ පිළිබඳ තම අධීක්ෂණ නිලධාරියා දැනුවත් නොකළ බවය.
කෙසේ වෙතත් මෙම බුද්ධි තොරතුර පිළිබඳව තමන් ඉකුත් වසරේ අප්‍රේල් 07 වන දින පෙ.ව 8.55 එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර දුරකථනයෙන් අමතා දැනුවත් කළ අතර එදිනම මුල් තොරතුර කිසිදු වෙනස්කමකට භාජනය නොකොට ටොප් සීක්‍රට් යනුවෙන් සඳහන් කර ජාතික බුද්ධි ප්‍රධානියාට යොමුකළ බව ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේය.
එසේම ඉන් අනතුරුව අප්‍රේල් 09 වැනිදා වන විට තමන්ට නැගෙනහිර පළාතට යැවූ නිලධාරින්ගේ සහ නියෝජ්‍ය සහ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ වාර්තා ලැබී තිබූ බැවින් වැඩිදුර වාර්තාවක් සකස්කර පොලිස්පතිවරයාට යොමුකළ බව නිලන්ත ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ පළමු බුද්ධි තොරතුරේ වැදගත් පල්ලි ඉලක්ක වන බව සඳහන්ව තිබීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ගත් පියවර කුමක්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ පල්ලියක වැදගත්කම, පල්ලිය කරා යන පුද්ගලයා අනුව තීරණයවන්නක් වන බැවින් සමස්ත මුල් තොරතුර ගැන සාකච්ඡා කළද, වැදගත් පල්ලි ඇති තැන් පිළිබඳ සාකච්ඡා නොකළ බවයි.
කෙසේ වෙතත් මෙහිදි අප්‍රේල් 04 වැනිදා ලද පළමු බුද්ධි තොරතුරට අදාළව අප්‍රේල් 05 වැනි දින සහකාර අධ්‍යක්ෂවරයා විසින් පිළිවෙළ කර නිලන්ත ජයවර්ධනට ලබාදෙන ලද වාර්තාව කොමිසමේ අවධානයට ලක්වූ අතර එහි වැදගත් පල්ලියක් ලෙස පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සිතියමක ලකුණු කර තිබීම විශේෂත්වයක්.
එසේම සහකාර අධ්‍යක්ෂවරයාගේ අදාළ වාර්තාවේ ගෝල්ෆේස් ප්‍රදේශයේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ බම්බලපිටිය සහ කොල්ලුපිටිය ප්‍රදේශයන්වල පිහිටි ප්‍රධාන පල්ලි කිහිපයක්ද වැදගත් පල්ලි ලෙස සටහන් කර තිබිණි.
කෙසේ වෙතත් වැඩිදුර සාක්ෂි ලබාදීමේදි සාක්ෂිකරු කියා සිටියේ සහරාන් හෂීම් නමැත්තාට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ඇති බව තමන් 2018 වර්ෂයේ පමණ සිට වගකිවයුත්තන් දැනුවත් කර තිබුණද, 2019 අප්‍රේල් 04 වන විටත් සහරාන් හෂීම් ප්‍රහාරයකට සූදානම් වන බවට රාජ්‍ය බුද්ධි සේවයට පැහැදිලි තොරතුරු නොතිබූ බවයි.
මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ තොරතුරු ලැබී තිබියදීත් රාජ්‍ය බුද්ධි සේවය එහි වියහැකිභාවය පිළිබඳ සොයා බලමින් සිටියදී ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරුවා හැරීම රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාවය නොවේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ වට්ස් ඇප් පණිවුඩයකින් තමන්ට පළමුව බුද්ධි තොරතුර ලද අවස්ථාවේ එය එලෙසම අනෙකුත් අයට බෙදාහැර තොරතුරු බෙදාහැරියේ යැයි කියමින් පැත්තකටවීමට තමන්ට හැකියාවක් තිබුණද තමන් එලෙස නොකළ බවයි.
පාස්කු ප්‍රහාරයට සති දෙකකට පෙර තමන් වගකිවයුතු අංශ දැනුවත් කළ බවත්, ප්‍රහාරය එල්ලවීමට පෙර දිනයේ හෙට ගහනවා යැයි දැනුම් දුන්බවත්, පළමු ප්‍රහාර 06න් පසු තව 02ක් තියෙනවා යැයිද, පල්ලියක් අසල බෝම්බ පැටවූ ලොරියක් නවතා ඇතැයිද තමන් තොරතුරු සැපයූ බව ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.
එසේම ලබාදිය හැකි සෑම තොරතුරම පවසා දෙවැනි ප්‍රහාරයක් සිදුවීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවය කළ හැකි සියලු දේ කළ බව නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.
එබැවින් තමන්ගේද වැරදි තිබිය හැකි වුවද, රාජ්‍ය බුද්ධි සේවය ලෙස සැපයිය හැකි සියලු තොරතුරු සපයා ඇති පසුබිමක රාජ්‍ය බුද්ධි සේවයේ ක්‍රියාකලාපය දුර්වල යැයි පැවසීම පිළිගැනීමට නොහැකි බව නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
වරුණි පෙරමුණ
