පිළිකා එන්නත නාවකාලිකව නවතයි
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකුට ‘Bevacizumab Injection’ නමැති එන්නත ලබා දීමෙන් පසු මියගිය බවට ඇති වූ සැකයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම එන්නත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ලබා දීම ද තාවකාලිකව අත්හිටවූ බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි ප්‍රකාශ කරයි.
ඉකුත් අගෝස්තු පළමු වැනි දා මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩී.එස්. මාලනී යන අය බවත් ඇය ‘කුඹුක් සෙවණ’ නිල්වැල්ල, දික්වැල්ල යන ලිපිනයේ පදිංචිකාරියක බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇයගේ මරණයෙන් දින කිහිපයකට පසුව එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි ඩී.ඒ. සොමිනෝනා නමැති කාන්තාවට ද මෙම එන්නත දී ඇති බවත් ඇය ද සැකකටයුතු ලෙස මිය යාමත් නිසාම මෙම රෝගීන් මියයාමට මෙම එන්නත හේතුවක් වී ඇත්ද යන සැකය මතු වූ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරිගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ
‘‘අපිට එම මරණ සම්බන්ධයෙන් මේ වන තෙක්ම සැකයක් පමණයි තිබෙන්නේ. අපි ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කරලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා වාර්තාවක් එව්වම තමයි අපිට හරියටම කියන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් පරීක්ෂණ වාර්තාව එනතුරු එම බෙහෙත නවත්වලා තියෙන්නේ. ඒ වාර්තාවට අනුව තමයි හරියටම කියන්න පුළුවන් වෙන්නේ මේ මරණ සිදු වුණේ මේ ඖෂධය නිසා ද නැතිනම් වෙනත් කාරණාවක් නිසාද කියන එක’’ යනුවෙනි.
ජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට
