News

පුරාවිද්‍යා උරුමය පිළිබඳ බළකායේ වැඩ ගැන දෙමළ සන්ධානය අසතුටින්

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කාර්ය සාධක බළකාය රටේ එක් ජනකොට්ඨාසයක අවශ්‍යතාවන්ට පමණක් සේවය කිරීමට පිහිටුවූවක් බව දෙමළ ජාතික සන්ධානය පැවසීය.

එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් නිවේදනයකින් පවසන්නේ අදාළ කාර්ය සාධක බළකායේ සියලුම සාමාජිකයන් සිංහල බෞද්ධයන් බවත්, ඔවුන්ගෙන් රටේ සියලුම ජනවර්ග නියෝජනය නොකරන බවත්ය.

‘‘නැගෙනහිර පළාත බහුවාර්ගික පළාතක් වන නමුත් සෑම විටම එහි ප්‍රධාන වන්නේ දෙමළ භාෂාව කතා කරන ජනවර්ගයයි. ශ්‍රී ලංකාව පළාත් නවයකින් සමන්විත වන අතර නැගෙනහිර පළාත ඉන් එකකි.

මෙමගින් අනෙක් පළාත් අත්හැර දමා ඇත්තේ ඇයිද යන්න ගැටලුවක් පැන නගියි. වෙනත් ප්‍රජාවක් සහ ආගම් අත්හැර දමා ඇත්තේ මන්ද යන ප්‍රශ්නය මතු කිරීම සුදුසුය.’’ යනුවෙන් ද එම නිවේදනයේ සඳහන්ය.

නයන තරංග ගමගේ