News

පෞද්. රෝහල් සහ හෝටල්වල කොවිඩ් ප්‍රතිකාරවලට ඉඩ

විශේෂිත පෞද්ගලික රෝහල්වලදී සහ සුඛෝපභෝගී හෝටල්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට රජය ඊයේ (16 වැනිදා) අවසර ලබාදී ඇත.

එමෙන්ම වැඩි පිරිසකට ප්‍රතිකාර සඳහා පහසුකම් ලබාදිය හැකි පළාත් සභාවන්ට අයත් රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමටද එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පෞද්ගලික​ රෝහල් හා හෝටල්වලට අවසර දී ඇත්තේ වයිරසය ආසාදනය වී බාහිර ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන්ට ප්‍රතිකාර කරන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසය.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ. දෛනිකව කොවිඩ් ආසාදිතයන් 600ක් පමණ සංඛ්‍යාවක් හඳුනාගැනීම නිසා ප්‍රතිකාර කිරීමට ඇඳන් සීමා වී ඇති බව මෙම රැස්වීමේදී අනාවරණ වී ඇත. දැනට රෝගීන් 200ක් සඳහා ප්‍රමාණවත් ඇඳන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු රෝහල්වල තිබෙන බවද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අතරමැදි මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකියාවක් ඇත්නම් දැනුම්දෙන ලෙස කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර පෞද්ගලික රෝහල් වෙත දැනුම් දී තිබිණි. ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් අතරමැදි මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට(15වැනිදා) කැමැත්ත පළකර තිබිණි. පෞද්ගලික රෝහල්වලට අවශ්‍ය නම් සුඛෝපභෝගී රෝහල් කුලියට ගෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටද අවසර ලබාදී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නිර්දේශ නිකුත් කර ඇත. ඒ සඳහා පනවා ඇති කොන්දේසි අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානවල අනෙක් රෝගීන් හා කාර්ය මණ්ඩලයෙන් වෙන්ව පවත්වාගෙන යා යුතුය.

කොවිඩ් රෝගීන් බැලීමට යාම තහනම් වන අතර එක් කාර්ය මණ්ඩලයක් පමණක් එහි රැඳී සිටිය යුතුය. දැඩි සත්කාර ඒකක පහසුකම්ද අවශ්‍ය නම් සපයා දිය යුතුය. මෙම මධ්‍යස්ථාන කොවිඩ් මධ්‍යස්ථානය හා සෞඛ්‍ය නිර්දේශ අනුව පවත්වාගෙන ගිය කොවිඩ් ප්‍රතිකාර සපයන රෝහල්වල ක්‍රමවේදයම භාවිත කළ යුතුය. රෝගියකු ඇතුළත් කර දින දහයකින් යළි පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු වන්නේය. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා නිරෝධායන මධ්‍යස්ථානවලට හමුදා ආරක්ෂාව සැපයූ අයුරෙන් මෙම මධ්‍යස්ථානවල ආරක්ෂාව පෞද්ගලික රෝහල් වෙතින් සපයා ගත යුතුය. මෙම කොන්දේසිවලට යටත්ව අවශ්‍ය අයට කාමර පහසුකම් සහිත පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලැබිය හැකිය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා, උදයජීව ඒකනායක, චාමර පල්ලේගෙදර