රූපලවන්‍ය

පොත්ත පාට කරගන්නට කැමත්තෙන් සිටින අය දැනගත යුතු ‘තිත්ත ඇත්ත’

‘බඩගින්න දරාගන්න බැරිව දවස් පහක් කරවිල කාලා සිව්දරු මව රෝහලේ’

2014 පෙබරවාරි දෙවැනිදා ජනප්‍රිය පත්‍තරේක පළවුණු පුවතක් තමයි ඔය ඉහතින් උපුටා දක්වලා තියෙන්නේ.

ඔය නිව්ස් එක පළවෙලා ගියේ පැය කීපයයි. ඕන් මුළු රටම කලබල වෙලා ඔය කියන අම්මව හොයන්න ගත්තා. මොකද ඒ වෙද්දි ඡන්දෙකුත් අතළඟයි. දන්නැද්ද ඉතින් ඡන්දේ කාලෙට ඔය වාගේ ප්‍රවෘත්තිවල වටිනාකම වැඩිනේ. ඒ නිසා ඒ කාලෙ ඔය තිත්ත කරවිල කතාව දේශපාලන වේදකාවල රසමසවුලක් වුණා.

දිගට හරහට මාධ්‍යවල පළවුණු කරවිල කතාවේ ඇත්ත නැත්ත හොයන්න තවත් පත්තර මහත්තයෙක් ඒ කියාපු බවලතියගේ ගෙදරටම ගිහින් තිබුණා.

“කරවිල කාලා ඉස්පිරිතාලෙ හිටපු අම්මයේ ගෙදර මේකද?”

“අපේ ගෙදරත් නිතරෝම කරවිල හදනවා මහත්තයෝ. හැබැයි කරවිල කාලා ඉස්පිරිතාලෙ ගිය කෙනෙක් ගැන නම් කපේට අහලා නෑ…”

කරවිල කාලා තමන් රෝහල්ගත වුණා කියලා ඒ කාන්තාව දැනගත්තෙත් පත්තරේ මහත්තයා කියාපුවාමයි.

මේන් මේකයි වෙලා තියෙන්නේ.

කරවිල කතාවේ කතා නායිකාව සිවලාපිටිය පැත්තේ  විනීතා. දවසක්දා බස් එකේ යද්දි විනීතට මුණගැහිලා දන්න කියන කාන්තාවක්. ගෙදර අගහිඟකම් ගැන නිකමට වාගේ කියන ගමන් දරුවන්ට කිරි එරෙන්න ඒ දවස්වල වැඩිපුර කරවිල කන බවත් ඇය එවුන්දට කියලා තියෙනවා. උන්දා අතිනුයි තිත්ත කරවිල කතාව පත්තරේ මහත්තැන් කෙනෙක්ගේ කනට ගිහින් තියෙන්නේ.

“ඒක තමයි කීපදෙනෙක්ම ආධාර දෙන්න මේ ටිකේ අපේ අහට ආවේ එහෙනම්.”

කියලා පත්තරේ විස්තරේ දැකපු වීනීතා ඔලුවට අතගහගත්තලු. කපුටු පිහාට්ටක් උඩට වමනේ කරාපුවාම කපුටෝ හත්දෙනෙක් වමනේ කළා වාගේ පද හදන අය කරවිල ගැන ඔහොම කතා කිව්වට කරවිල කියන්නේ හැමදාම කෑවත් ගුණක් මිස අගුණක් වෙන එළවළුවක් එහෙම නෙමේ ආයිබොවන්ඩ. සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බත්පතට දිනපතා නොවැරදුණු කෑම කරවිල කියලනේ කියන්නේ.

කරවිලවල තියෙනවා ලේ වල සීනී අඩු කරන්න පුළුවන් සංයෝග. ඒ නිසා දියවැඩියාව තියෙන අයට කන්න කියන්නේ කරවිල. ඒ විතරක් නෙමෙයි ලේ පිරිසුදු කරලා රුධිර ගමනාගමනය වැඩි කරන්නත් කරවිලවලට පුළුවන්. ඒකේ ප්‍රතිඵලය විදියට අපේ සම පැහැපත් වෙනවා. සම තිරිහන් කරන තවත් පෝෂක ජාති කරවිලවල තියෙනවා. ඒ ගැනත් ටිකක් කතා කරන ගමන් කරවිලවලින් ලස්සන වෙන විදිය ගැනත් මේ ලිපියෙන් කියවමු.

2000 අවුරුද්දෙදි ෆ්‍රෑන්ක් ෂැලෙන්බර්ග් කියන ඇමරිකානු වෛද්‍යවරයා කරවිල ගැන පරීක්ෂණයක් කළා. විටමින් B1, B2, A, K, C වාගේ ගුණ තියෙන නිසා

කරවිල කාපුවාම සම පැහැපත් වෙනවා කියන එකයි එතැනදි තහවුරු වුණේ. අනික කරවිලවල මයිකෝපේන් වාගේ ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිබැක්ටීරියාකාරක වාගේ ගුණත් තියෙන නිසා කුරුළෑ, ලප කැලැල් මකන්න වගේම සමේ තෙතමනය වැඩි කරන්නත් මෙව්වට පුළුවන්. ඔය පරීක්ෂණයෙන් පස්සේ ඒ රටේ ඈයෝ මහා පරිමාණෙන් කරවිල පෙති නිෂ්පාදනේට අත ගැහුවා. මොකද ඒ රටවල කරවිල වැවෙනවා හොරයිනේ.

අපේ රටේ නම් ඕසෙට කරවිල තියෙනවා. හැබැයි තිත්ත රසේ නිසා කරවිල කන්න අපේ ඈයොන්ගේ ප්‍රියතාවයක් නැහැ. තිත්ත පැත්තක තියලා කරවිල කනවා නම් ලස්සන වෙන්න විටමින් පෙති බොන්න ඕනේ නෑ. කන්න අමාරුයි නම් මේ විදියට හදලා බොන්නත් පුළුවන්.

කරවිල ගෙඩියක් අරගෙන ඇට ටික අයින් කරන්න. ඒකට ඉඟුරු කෑල්ලකුයි, දෙහි ගෙඩියකුයි මිරිකලා පොල්වතුරෙන් බ්ලෙන්ඩ් කරන්න. පොල්වතුරෙන් බ්ලෙන්ඩ් කරාපුවාම තිත්ත ටිකක් අඩුවෙනවා. කරවිල තිත්ත තවත් අඩු කරගන්න ඕනෙ නම් මේකට කොළ ඇපල් ගෙඩියක් එක්කාසු කරන්න. 

ශරීරයේ බර අඩු කරගන්න දතකන කෙනෙක් නම් සතියකට දෙවතාවක්වත් කරවිල තම්බලා කන්න.​ මොකද ඇඟේ මේදය තැම්පත්වීම අඩු කරන්න කරවිලවලට පුළුවන්.

සම ලස්සන කරගන්න නම් කරවිල ගෙඩියකට, පිපිඤ්ඥා ටිකක් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරන්න. මේ මිශ්‍රණය පැක් එකක් වගේ මූණේ ආලේප කරලා විනාඩි 15ක් තියලා සෝදලා අරින්න.

කරවිල යුෂවලට වෙනිවැල්ගැට කුඩු ටිකක් මිශ්‍ර කරලා ලප කැළැල් තියෙන තැන්වල ගාන්න.

කරවිල ගෙඩියක් තම්බලා ඒකට මීකිරි, කස්තුරි කහ එකතු කරලා සමේ ආලේප කරන්න.

කරවිල ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ඒකට රෝස වතුර එකතු කරලා කරවිල අයිස් කැට හදන්න. හැමදාම උදේට මේ අයිස් කැටයකින් මූණ සම්බාහනය කරන්න.

හිසකෙස් පැලීම, හිස්හොරි, අකලට කෙස් වැටීම වගේ අලකලංචිවලින් මිදෙන්න කරවිල තම්බපු වතුරින් හිස සෝදන්න. ඇඟපතේ දද, කුෂ්ඨ, පොතු කබර තියෙනවා නම් කරවිල තම්බාපු වතුරවලින් ඒ තැන් සෝදන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි