රූපලවන්‍ය

පොල්කිරිවලින් ලස්සන වෙන හැටි

මීට අවුරුදු අටකට කලින් 2016 අවුරුද්දේ වප් මාසෙ වෙනකොටත් ඉර දෙයියො හිටියෙ මේ දවස්වල වාගේම කෝප වෙලා. සතා සීපාවා විතරක් නෙවෙයි ගස්කොළන් පවා දවලා අළු කරන උන්දැගේ මේ කෝපය තවදුරටත් ඉවසන්න බැරි තැන දඹානේ ආදීවාසීන් යාගයක් සංවිධානය කළා. දිඹුලාගල ආරාණය සේනාසනයේ පැවැත්වුණ මේ යාගයට එවකට හිටපු සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමත් සහභාගී වුණා. ඒ කාලෙ හොඳට හෝ නරකට ඇමති පාලිත ගියොත් ගිය තැන ජෝගියක් නටන බව දන්න හින්දම යාගයට ආපු උදවිය කෝකටත් කියලා සූදානම් ශරීරෙන් තමයි හිටියේ. 

වැසි ලබාදෙන්න කියලා ඉල්ලලා ආදීවාසී කැළ කිරිකොරහ නැටුම නටන්න පටන් ගනිද්දී එදා ඇමති පාලිත නැටිල්ල පැත්තක තියලා දවුල අතට ගත්තා. හරියට පළපුරුදු බෙරකාරයෙක් වගේ එතුමා එදා ආදිවාසීන්ගෙ නැටුම ඉවර වෙනකන් හරි අපූරුවට බෙර ගැහුවා. ‘උපඇමති බෙර ගසයි, වැසි ඉල්ලා ආදීවාසීන් කිරිකොරහ නටයි’ කියලා ඊට පහුවැනිදා පත්තර සිරස්තලවලත් ඇමතිගේ බෙර ගැහිල්ල ගැන ලොකු අකුරින් පළවෙලා තිබුණා. ආදිවාසීන් මේ කියන කිරිකොරහ නැටුමේ මූලිකම දේ විදියට යොදාගත්තේ පොල්කිරි. පොල්කිරිවල තියෙන විස නසන ගුණය තමයි ඒකට හේතුව. 

‘දෙල් එව්වේ  අපට වස විස කවන්නයි

පොල් වැව්වේ අප වස විස මකන්නයි’

ලංකාවේ නම් දරාපු කවියෙක් වුණ ආරාබි ආතාගේ කවියකත් පොල් කිරේ ගුණ ගැන ඔන්න ඔය විදියට සඳහන් වෙලා තියෙනවා. දෙවන ලෝක යුද්ධෙ කාලේ ඉංග්‍රීසින් කලුතර ගුවන්තොටුපොළක් ඉදිකරන්න පොල්රුප්පාව කපා දැම්මා කියලා ඊට විරුද්ධ වෙන අදහසින්ලු අරාබි ආතා ඔය කවි පෙළ ලිව්වේ. 

ඒ කාලෙ බවලත් උදවිය උයන්න පිහන්න ඇරුනම හැඩ වැඩ වෙන්නත් පොල්කිරි යොදාගත්තා කියලයි ඉතිහාසේ සඳහන් වෙන්නේ. අද වගේ බියුටි සැලෝන් නොතිබුණු ඒ කාලෙ ඒ උදවිය පොල්කිරි අත් පාවල ගාගෙන ඇල් හෙවණට වෙලා හිටියලු ලස්සන වෙන්න.  

පොල්කිරිවල තියෙන මැග්නීසියනම්, පොස්පරස්, ඇමයිනෝ අම්ල වගේම විටමින් B, Cසහ E ආදී පෝෂ්‍ය පදාර්ථ නිසා පොල්කිරි කියන්නේ සමට වඩාත්  හිතකර සත්කාරයක්. ඒ වගේම පොල්කිරිවල තියෙන සිරුරට හිතකර ක්ලෝරික් අම්ලය අස්ථි වර්ධනයට වගේම මොළයේ වර්ධනයටත් හේතු වෙනවලු. පිළිකා මර්දනයටත් පොල්කිරි පංකාදුයි කියලා ළඟදි පර්යේෂණයක් කරාපු මහත්තුරු වගයක් කියලා තිබුණා. ඒ වගේම පොල්කිරිවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සමට හොද ආරක්ෂකයෙක් විදියටත් ක්‍රියා කරනවා. ඒ ඇරුනම මේවයේ තර්පණ ගුණය කියලා එකකුත් තියනවා. ඒකෙන් ශරීරයේ කෙට්ටු ගති එහෙමත් මට්ටු කරන්න පුළුවන් කියලයි කියන්නේ. සම දීප්තිමත් කිරීම, සමෙහි රැළිඉවත් කිරීම, වියළි ගති දුරු කිරීම, අඳුරු ළප කැලැල් ඉවත් කිරීමට විතරක් නෙවෙයි සමේ රෝගවලට වගේම සෛල වර්ධනයටත් පොල්කිරි ඉතාම සුදුසුයි. ඉතින් ඒ පොල්කිරිවලින් ලස්සන වෙන විදි කිහිපයක් තමයි අද අපි මේ කියන්න යන්නේ.

කෙට්ටු ශරීරයක් තියන අයට පෘෂ්ඨිමත් සිරුරක් ලබන්න හොඳ ක්‍රමයක් තමයි කිරිබත් පොට්ටනි ක්‍රමය. හොඳ හැටි පොල්කිරි දාල හදාගත්තු මද රස්නේ කිරිබත්වලින් පොට්ටනියක් සකස් කරගෙන අත් පා තැවීම තමයි මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ. 

ඒ වගේම මුහුණේ තියන අඳුරු පැහැ ලප නැතිවෙන්න නම් පිසගත් ඕට්ස්, පොල්කිරි සහ වෙඬරු සමඟ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න පුළුවන්. 

මීට අමතරව ජලයෙන් පොඟවාගත් ආමන්ඩ් ඇට හතරක් පහක් හොදින් අඹරා පොල්කිරි තේ හැදි දෙකක් හා දෙහි යුෂ ස්වල්පයක් දමා මිශ්‍රකර ෆේස් පැක් එකක් විදියටත් මුහුණේ ආලේප කරන්න පුළුවන්.

පොල්කිරිවලට බිත්තර කහමද එකතු කොට මුහුණේ ආලේප කර විනාඩි 20ක් හෝ 30ක් පමණ තබා සෝදාහැරීමෙන් සමේ වියළි ගතිය නැති වෙනවා. 

පොල්කිරිවලට යෝගට් එක්කොට මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර මද වේලාවක් තබා ඉවත් කරගත කරන්න. මෙය දින කිහිපයක් එකදිගට සිදු කිරීමෙන් සමේ පැහැපත් බව වර්ධනය කරගන්න පුළුවන්. 

මේකප් ඉවත් කිරීම සඳහා ඔලිව් ඔයිල් තේ හැඳි දෙකකට පොල්කිරි තේ හැන්දක් එක්කර ආලේපකොට සෝදා හරින්න. 

හිස්කබලෙහි වියළි ගති පහ වී ඉක්මනින් දිගු කෙස් කළඹක් ලබා ගැනීමට නම් නෑමට පෙර පොල් තෙල් වෙනුවට පොල්කිරි හිස්කබලේ අලේප කරන්න. 

හිස්හොරි නැති කිරීමටත් දෙහිගෙඩි කිහිපයක් පොල්කිරෙන් තම්බා හිසෙහි ගැල්වීම වඩාත් සුදුසුයි.

නෙත්මි තෂාරා