News

පොලිසියට රු.20,000ක අල්ලසක් ලබාදීමට ගිය අයෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකු තිහගොඩ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර වලින් ඉන්ධන ලබාගෙන බලපත්‍ර නොමැතිව ටිපර් රථයකින් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ටිපර් රථය සමග තිහගොඩ පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටියදී ටිපර් රථය නිදහස් කරන ලෙස පොලිස් නිළධාරින්ට රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට ටිපර් රථය භාරව සිටි පුද්ගලයා පොලිසියෙන් ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් තිහගොඩ පොලිස් ස්ථානාධිපති දැනුවත් කිරීමෙන් පසු එම අල්ලස් මුදල තිහගොඩ පොලිස් ස්ථානයේදී අදාළ පුද්ගලයා විසින් පොලිස් නිලධාරින්ට ලබාදීමේදී අල්ලස් ලබාදීමේ වරදට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 39 සහ 54 වයස්වල පසුවන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් අද (05) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තිහගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

ගාල්ල – සුනෙත් ගාල්ලගේ