නවතම ප්‍රවෘත්ති

පෝෂණ සංඝටක හයකින් යුත් අලුත් සහල් වර්ගයක් හදන විද්‍යාඥවරිය හේලී

‘‘ලෝකයේ පළවෙනි වතාවට ක්‍රියාකාරී අමුද්‍රව්‍ය සහ පෝෂණ සංඝටක ඇතුළු කරලා සහල් නිපදවන ක්‍රමවේදයක් හොයාගන්න අපිට පුළුවන් වුණා. රටේ සංවර්ධනයට වගේම නිරෝගිමත් මිනිසුන් පිරි සමාජයක් බිහි කරන්නත් මේ නව සොයාගැනීම උපකාරී වෙයි.’’

ඇය එසේ පවසද්දී මගේ මතකයට නැගුනේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගීයනුවෙන් බසිසුරු මුණිදස් කුමරතුඟුද පවසා ඇති බවය.

එසේම ජපනා හපනායනුවෙන් කතාවට කියන්නේද ඔවුන් නිතර ලොවට නව්‍යමය දේ හඳුන්වාදෙන නිසාය.

ජපනා පමණක් නොව උක්ත කරුණ අපට පවසන්නීද එවැනිම හපනියක් බව පැවසීම නිවැරදිය.

ඇය ජිනීවා නවෝත්පාදන සම්මේලනයේදී නව නිපැයුම් සඳහා රන් පදක්කම් දෙකක් දිනා ඇත. එපමණක් නොව සහල් පෝෂණීය කිරීමේ නව තාක්ෂණික ක්‍රමවේදයක් උදෙසා එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රයක්ද ඇය ඇතුළු කණ්ඩායම සතුය.

අද ධරණීකවරය සොඳුරු රුවින් සරසන්නී, විද්‍යා සොයාගැනීම් තුළින් නිරෝගිමත් මිනිසුන් පිරි සමාජයක් ගොඩනැගීමට වෙර දරනා විද්‍යාඥවරිය, හේලී සෙනෙවිරත්නයි.

හේලි විද්‍යාඥවරියක් වෙන්න හිතුවේ ඇයි?

පොඩි පොඩි අත්හදාබැලීම්, පරීක්ෂණ වගේ දේවල් කරන්න ලොකු ආසාවක් පුංචි කාලේ ඉඳලම උණක් වගේ මගේ ඇඟේ තිබුණා. ඉතින් ඒ ආශාව නිසා තමයි මම මේ විෂය පථය තෝරගෙන විද්‍යාඥවරියක් වුණේ.

විද්‍යාඥවරියක් වෙන්න ඔබ ආපු ගමන මොන වගේද?

උසස් පෙළින් පස්සේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය කියන විෂය තෝරාගත්තා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලෙදිත් මම විශ්වවිද්‍යාලයේ විද්‍යා ව්‍යාපෘති කිහිපයකටම වගේ සම්බන්ධ වුණා. විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කළාට පස්සේ මම ගෙදරම විද්‍යාගාරයක් හදාගත්තා. මහ ලොකුවට නෙවෙයි. මට පුළුවන් විදිහට පුංචි විද්‍යාගාරයක්. පස්සේ ආහාර සම්බන්ධයෙන් ​රටේ ප්‍රසිද්ධ ව්‍යාපාර සන්නාම කිහිපයක් එක්ක එකතු වෙලා ඔවුන්ගේ නිෂ්පාදන සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ කළා. එතැනිනුත් මට ක්ෂේත්‍රයේ සම්බන්ධතා රැසක් ගොඩනැගුණා. ඔය අතරතුරේදී තමයි මට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ විද්‍යාඥවරියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ.

ඇත්තටම විද්‍යාඥවරියක් විදිහට කටයුතු කරන එක මොන වගේ ඇත්දැකීමක්ද?

ඇත්තටම ඒක හරි අපූරු අත්දැකීමක් කිව්වොත් හරි. අපේ රස්සාව දවසින් දවස අලුත් අලුත් දේ හොයාගන්න එකනේ. ඒ විවිධත්වය නිසා මේ වෘත්තිය කවමදාකවත් ඒකාකාරී වෙන්නේ නැහැ. අනික මිනිස්සුනගේ යහපත වෙනුවෙන් දෙයක් සොයාගන්න ලැබෙනවා කියන එකත් ලොකු මානසික සතුටක්නේ.

ආහාර තාක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් විශේෂ පේටන්ට් බලපත්‍රයක් ගන්න ඔබට පුළුවන් වෙනවා. මොකක්ද ඇත්තටම ඒක?

විශ්වවිද්‍යාල අවසාන වසරේදී අපි විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනනේ. සහල්වලට ක්‍රියාකාරී අමුද්‍රව්‍ය (Functional Ingredients) අඩංගු කරන ආකාරය ගැන සුවිශේෂ පරීක්ෂණයක් කරන්න එතැනදි මට අවස්ථාව ලැබුණා. මේකට ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවෙකු වෙන එම්.ගුණවර්ධන මහතා, ආචාර්ය නිරංජන් රාජපක්ෂ සහ ඉංජිනේරු ආනන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුනුත් මාත් එක්ක එකතු වුණා කියන එකත් මතක් කරන්න ඕනේ. අපි ​මේ හැම පරීක්ෂණයක්ම කළේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාගාරයේම තමයි. අපි බලාපොරොත්තු වුණා වගේම පරීක්ෂණය සියයට සියයක්ම සාර්ථක වුණා. ඒ සාර්ථකත්වය එක්ක මේ වෙනුවෙන් ඇමෙරිකාවේ පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නත් අපිට පුළුවන් වුණා.

මේ පරීක්ෂණවලට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය තෝරගන්න විශේෂිත හේතුවක් තිබුණද?

ඔව්. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ලංකාවේ හොඳම පරීක්ෂණ ආයතනය කියලා මම පෞද්ගලිකව හිතනවා. ලෝකයේ දැනට තියෙන නිරවද්‍යතාවයෙන් සහ නවීනත්වයෙන් ඉහළම තාක්ෂණික උපකරණ රැසක් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තිබීම තමයි එයට හේතුව. උදාහරණයක් විදිහට කිව්වොත් NMR Spectrophotometer, X-ray Photoelectron Spectrophotometer, Transmission Electrone Microscope වගේ තාක්ෂණික උපකරණ ලංකාවේ වෙන කිසිම විද්‍යාගාරයක නැහැ. අපි භාවිත කරන විද්‍යාගාර උපකරණවල තාක්ෂණය සහ නිරවද්‍යතාවය අපේ නිෂ්පාදනයේ සාර්ථකත්වය උදෙසා ඍජුවම බලපානවා. ඉතින් අපේ පරීක්ෂණ කටයුතු සඳහා මේ පරීක්ෂණාගාරයම තෝරාගත්තේ ඒ නිසයි.

ඔය විදිහට පේටන්ට් බලපත්‍ර ගන්න ගොඩක් අය පස්සේ ඒකෙන් වැඩක් ගන්නේ නැහැනේ. මේකටත් එහෙම වෙයිද?

ඇත්තටම ඒ කතාව හරි. ගොඩක් අය පේටන්ට් බලපත්‍රක් ගන්නේ සුදුසුකමක් විදිහට පෙන්වන්න විතරයි. හැබැයි අපි නම් මේ ව්‍යාපෘතිය නතර කළේ නැහැ. එක්තරා සහල් නිෂ්පානාගාරයක් එක්ක එකතු වෙලා විද්‍යාගාර පරීක්ෂණ යටතේ අපි පොළොන්නරුවේ පෝෂ්‍යදායී සහල් නිෂ්පාදනාගාරයක් හැදුවා. මේ වගේ නව සොයාගැනීමක් වාණිජකරණය කරන එක ඇත්තටම ඉතාම බැරෑරුම් දෙයක්. නමුත් මේ කටයුත්තට ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාර ආයතනයක් වන LOLC ඇඩ්වාන්ස් ටෙක්නොලජිහී අනුග්‍රාහකත්වය ලබාගන්නත් අපිට හැකියාව ලැබුණා. මම දැනට පරීක්ෂණ කටයුතු කරන්නේ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනේශ් අබේරත්න මහතාගේ නායකත්වය යටතේයි. මේ සියල්ලටම විද්‍යාඥ දනුෂිකා දේමිණීගේ සහායත් මට ලැබෙන බව කියන්න ඕනේ.

අමුතුවෙන් පෝෂ්‍ය සංඝටක සහ ක්‍රියාකාරී අමුද්‍රව්‍ය ඇතුළත් කරන්න ඕනේ කියන්නේ අපි දැන් කන සහල්වල කිසි පෝෂණ ගුණයක් නැහැ කියන එකද?

මෙහෙමයි. අපි ආහාරයට ගන්න සහල්වල කුරුට්ට කොටසේ යම් ප්‍රමාණයකට යකඩ සහ සින්ක් අන්තර්ගතයි. ඒත් ඉතින් කුරුට්ට තියෙන සහල් කෑමට ගන්නේ කීයෙන් කීදෙනාද? ඇත්තම කිව්වොත් දැන් අපි කන ගොඩක් සහල්වලින් අපිට ලැබන්නේ කාබෝහයිඩ්‍රේට් කියන පෝෂණ සංඝටකය විතරයි.

එතකොට ඔය කියන ක්‍රියාකාරී අමුද්‍රව්‍ය එකතු කළොත් අපිට ​ඕන කරන පෝෂණ සංඝටක ටික ලබාගන්න පුළුවන්ද?

ඇත්තටම ලංකාවේ මිනිස්සු පෝෂණය ගැන නම් හිතන්නෙම නැති තරම්. ලොකු බත් පිඟානක් එක්ක ව්‍යාංජන දෙක තුනක් බඩට දාගගත්ත පලියට ඇඟට අවශ්‍ය පෝෂණ්‍ය ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වගේ ලෙඩ රෝග සුලබ වෙන එක විතරයි. පෝෂ්‍යදායී විදිහට සමබල ආහාරවේලක් ගන්න කියලා උපදෙස් දීලා විතරක් අපිට මේ ආහාර සංස්කෘතිය වෙනස් කරන්න අමාරුයි. ඉතින් සහල්වලට විටමින් වර්ග, සින්ක්, යකඩ, කර්කියුමින් වගේ ශරීරයට අත්‍යවශය පෝෂණ සංඝටක අධිසාන්ද්‍රණයකින් මුහුකරන එක ඇත්තටම හොඳ උපක්‍රමයක්. ඒක හරියට අර ලුණුවලට අයඩීන් එකතු කරලා මිනිස්සුන්ට කන්න දෙනවා වගේ වැඩක්. දැනට අපි නිෂ්පාදනාගාර දෙකක් යටතේ මේ සහල් නිෂ්පාදනය කරනවා. මේ වසර අවසානයේ මෙය වෙළෙඳපොළට හඳුන්වාදෙන එක තමයි දැන් අපේ ප්‍රධානම අරමුණ.

මේ සහල් පරිභෝජනය කළාම අපිට ලබාගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද?

මේ සහල් පරිභෝජනයෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ හෙළි කරන්න තවමත් අපිට නෛතික බලතල නැහැ. අපි කරන්නේ ශරීරයට අත්‍යවශ්‍යයි කියලා සායනිකව තහවුරු කළ සංඝටක අදාළ අමුද්‍රව්‍යවලින් වෙන් කරලා සහල්වලට ඇතුළත් කරන එකනේ. ඉතින් මේ සංඝටකවලින් ලබාගන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රතිලාභ ටිකක් ගැන මම පැහැදිලි කරන්නම්.

ග්‍රීන් ටී වල කැපචීන් කියලා සංඝටකයක් තියෙනවා. කොලෙස්ටරෝල්, දියවැඩියාව රෝග ලක්ෂණ පාලනයට සහ මේදය අඩු කරන්න මේ සංඝටකය උපකාරී වෙනවා කියන එක තහවුරු වෙලා තියෙනවා. අපි නිෂ්පාදනය කළ සහල්වලත් මේක අන්තර්ගත නිසා දැන් කැපචීන් ගන්න ග්‍රීන් ටී එකක් බොන්නම ඕනේ නැහැ.

ඒ වගේම කුරුඳුවල සාරය අධිරුධිර පීඩනය, දියවැඩියාව පාලනයට උපකාරී වෙනවා. තව එතකොට ලුණුවිල සහ ගොටුකොළ සාරය මතක ශක්තිය වැඩි කරන්නත් ආතතිය ඇතුළු මොළය ආශ්‍රිත රෝග මඟහරවා ගන්නත් උපකාරී වෙන බව සොයාගෙන තිබෙනවා.

එතනින් ගියහම කහ වල අඩංගු කර්කියුමින් කියන සංඝටකය ආතරයිටීස් සහ පිළිකා පාලනයට යෝග්‍යයි. ඊටපස්සේ යකඩ සහ සින්ක් කියන්නෙත් ශරීර ශක්තියට සහ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකනේ. මේ වගේ පෝෂණ සංඝටක හයක් මුහුකළ සහල් වර්ග හයක් අපි මේ වෙනකොට හදලා තියෙනවා.

මේ දවස්වල ඔබේ කාලය වැයවෙන්නේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විතරද?

මේ ව්‍යාපෘතියට අදාළව පෝෂණීය සහල් සඳහා මේ වෙනකොට වෙනත් රටවලින් පවා අපිට ඇණවුම් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ කටයුත්ත වෙනුවෙන් මම ලොකු කාලයක් වැය කරනවා. ඊට අමතරව කුළු බඩුවලින් යම් යම් සංඝටක වෙන් කරගන්න නව ක්‍රමවේද පිළිබඳවත් පරීක්ෂණයක් මේ දවස්වල සිදු කරනවා.

විද්‍යාඥවරියක් කියන්නේ අත්හදාබැලීම්, සොයාගැනීම් එක්ක ජීවත්වෙන කෙනෙක්නේ. ඉතින් මේ දේවල් ප්‍රායෝගික ජීවිතයටත් උපකාරී වෙනවද?

ඔව් අනිවාර්යෙන්ම. ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්න, සොයන්න ​මේකෙන් ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවා. අනික පරීක්ෂණයක් කරද්දී යමක් කමක් පිළිවෙලට ආරක්ෂාකාරී විදිහට කරන හැටි අපි ඉගෙනගන්නවා. අනිත් දේ තමයි යමක් කරන්න ගියහම ඊළඟට මේ දේ මෙහෙම වෙයි කියලා හිතන්න පුළුවන් විදිහේ හැකියාවක් විද්‍යාඥයන්ට තියෙනවා. ඉතින් මේ හැමදේම ප්‍රායෝගික ජීවිතේටත් නිතැතින්ම වගේ ආදේශ වෙනවා.

ආහාර තාක්ෂණ ගැන හොඳ දැනුමක් තියෙන නිසා හේලිට රසට, ගුණට උයන්න එහෙමත් පුළුවන් ඇති?

කෑමක් හදනකොට ඒකට තෙල් ටිකක් දැම්මම ඒක රසවත් වෙන්නේ කුළුබඩුවල තියෙන සාරය තෙල්වලට උරාගන්නා නිසයි. ආහාරවලට එකතු කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය, පිසගන්න කාලවේලාවන් වගේ දෙවල් නිසා ආහාරවල රස වගේම පෝෂණ ගුණයත් වෙනස් වෙනවා. වෙළෙඳපොළේ තියෙන ගොඩක් වාණිජ නිෂ්පාදනවලට අදාළ අමුද්‍රව්‍ය එකතු නොකර එහි රසය විතරක් ඒවාට එකතු කරනවා. ඉතින් මේ දේවල් තෝරලා බේරලා ගන්න එක වැදගත්. එළවළු, පලතුරු වුණත් හොඳට තෝරලා බේරලා ගන්න හොඳ දැනුමක් මට තියෙනවා.

විද්‍යාගාරයක පරීක්ෂණ කටයුතු කරන එක ටිකක් අවදානම් වැඩක්නේ. ඉතින් ඔය අතරේ අමතක නොවෙන සිදුවීම් එහෙමත් වෙලා ඇති?

පරීක්ෂණාගාරයක වැඩ කරනවා කියන්නෙම ඉතින් ටිකක් අවදානමක් තමයි. ඊළඟ මොහොතේ රසායනික ප්‍රතික්‍රියා කොයි විදිහට ක්‍රියාකරයිද කියලා දන්නේ නැහැනේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලෙදි දවසක් මගේ ඇහැට ඇසිඩ් බින්දුවක් විසි වුණා. ඇසිඩ් විසිවුණ හැටියෙම මම අයි වොෂර් එක ළඟට දුවලා ගිහිල්ලා විනාඩි පහක් විතර ඇහැ සේදුවා. පස්සේ ආචාර්යවරු මාව ළඟම රෝහලට අරගෙන ගියා. හරි විදිහට ඇහැ සේදුව නිසා කිසිම ගැටළුවක් වුණේ නැහැ. එහෙම නැත්නම් එදා මගේ පෙනීම අහිමි වෙන්න වුණත් ඉඩ තිබුණා.

ඉතින් මේ අංශයෙන්ම දිගු ගමනක් යන්නද බලාපොරොත්තුව?

ඉදිරියේදි මගේම කියලා පෞද්ගලික පරීක්ෂණාගාරයක් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ දැනට තියෙන ආහාර සංස්කෘතිය වෙනස් කරන්න මට පුළුවන් උපරිමයටම වැඩ කරනවා.

සටහන සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරුප ක්‍රිෂාන් කාරියවසම්

පසුබිම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය