News

බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩි ලැසී ගැන තීරණය

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ “පොඩි ලැසි“ හෙවත් ජනිත් මධුසංඛ ද සිල්වා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද දින (08) අවසර ලබා දී ඇත.

ඒ බන්ධනාගාර නිලධාරීන්, ආරක්ෂක ලේකම් සහ ජනාධිපතිවරයා ඝාතනය කරන බවට පොඩි ලැසී පසුගිය දා සිදු කර තිබූ ප්‍රකාශයට අදාළව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම අනුවය.

පසුගිය ජුනි 26 වනදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිය පහසුකම් වැඩි කරන්නැයි ඉල්ලා උපවාසයක නිරත වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් 5දෙනෙකු සහ බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා එහි ගොස් තිබුණි.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවන් වන ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් “පොඩි ලැසී“ සහ “කොස්ගොඩ තාරක“ යන රැඳවියන් එම බන්ධනාගාර නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කර තිබුණි.

පසුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර නීතිපතිවරයා ද පසුගියදා උපදෙස් දී තිබුණේ “පොඩි ලැසී“ සහ “කොස්ගොඩ තාරක“ ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ සහකාර පොලිස් අධිකාරී එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අද පෙරවරුවේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියා.