News

බන්ධනාගාර උසස්වීම්වලට හිටපු ඇමැති ලේකම්ගෙන් පොල්ලක්

පළමු පෙළ ජේලර් තනතුර සඳහා බන්ධනාගාර නිලධාරීන් විසිපස් දෙනකුට උස්වීම් ලබාදීම පසුගිය රජයේ හිටපු ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ බලපෑම් මත නතර කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම උස්වීම් ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතියද ලැබී ඇති බව පැවසේ. හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මෙම උසස්වීම් ලබාදීම නතර කර ඇත්තේ බන්ධනාගාර සේවයේ නියුතු ඔහු​ගේ පුත්‍රයාට මේ පළමු පෙළ ජේලර් තනතුරට සුදුසුකම් නොලැබීම හේතුවෙන් බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

නිලධාරීන් විසිපස් දෙනාගේ උසස්වීම් නිර්දේශවී ඇත්තේ 2018 වස​රේදී වුවත් ඊට අනුමැතිය ලැබී තිබෙන්නේ 2019 අග භාගායේදීය. නිලධාරීන් හැත්තෑවක් අතරින් මෙම විසිපස් දෙනා අදාළ තනතුර සඳහා සුදුසුකම් ලැබ ඇත. උසස්වීම් නතර කළ බවට කියන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ පුතා විනය විරෝධී ක්‍රියා නිසා අවස්ථා දෙකකදී ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරියකු වන අතර එක් වරක් වැටුප් කපා හැරීමකට ලක්වූ අයකු බවද පැවසේ. සිරකරුවකු බන්ධනාගාර නිලධාරීන් භාරයෙන් මිදී පළායම සම්බන්ධවද මොහු අවවාද ලබා ඇත.

සිරකරුවකුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මොහු මඩකලපුව බන්ධනාගාරයට මාරුකර යැවීමටද බන්ධනාගාර අධිකාරිය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ්ගෙන් විමසීමක් කළෙමු.

මෙහි කිසිදු දේශපාලනයක් නොමැති බව පැවැසූ ඇය කිසිදු තනතුරකට දේශපාලන බලපෑමක් එල්ලවී නැතැයිද ඇය පැවසුවාය. ‘‘ඔය කිසිම කෙනෙක් මා හඳුනන්​නෙ නෑ. උසස්වීම් සම්බන්ධයෙන් නිවැරදි විදිහට කටයුතු සිදුවේවි‘ යැයිද ඇය ප්‍රකාශ කළාය.

හේමන්ත ලියනපතිරණ