News

බ්‍රිතාන්‍යය යළිත් ලොක්ඩවුන් කරයි

 

 

එංගලන්තය සහ ස්කොට්ලන්තය වහාම ක්‍රියාත්මක වන පරිදි නව දැඩි අගුළු දැමීමේ නීති ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අවසර ලත් හේතූන් මත හැර දෙරටේ බොහෝ ප්‍රදේශවල කිසිදු පුද්ගලයකුට නිවාසවලින් බැහැරවීමට නොහැකි වේ.

එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සේම වේල්සයේද මේ වනවිට පාසල් මුළුමනින්ම වසා දමා ඇති අතර කොවිඩ් – 19 වසංගතයේ අවදානම එංගලන්තයට වඩා මඳක් අඩු උතුරු අයර්ලන්තයේ පමණක් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් සඳහා පමණක් තවදුරටත් අවසර ලබාදී තිබේ.

බීබීසී පුවත් සේවය වාර්තා කරන ආකාරයට එංගලන්තයේ ක්‍රියාත්මක කර ඇති අගුළු දැමීම් පෙබරවාරි මැද දක්වා පවතිනු ඇත. ස්කොට්ලන්තයේ නීති ජනවාරි අගදී සමාලෝචනය කෙරෙනු ඇතැයිද පැවැසේ. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සති කිහිපය ‘ඉතාමත් අමාරු කාලයක්’ වනු ඇති බවයි.

එංගලන්තයේ පෙරේදා රාත්‍රිය වනවිට ගෙවුණු පැය 24 ඇතුළත කොවිඩ් – 19 රෝගීන් 58,784 ක් වාර්තා වී තිබුණු අතර ගෙවුණු දින 28 ක කාලයේදී මරණ 407 ක් වාර්තා වී ඇත. අත්‍යවශ්‍ය වෛද්‍ය අවශ්‍යතා, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ආසන්නම සුපිරි වෙළෙඳ සැල් කරා යෑම, නිවසේ සිට සිදුකළ නොහැකි අත්‍යවශ්‍ය කටයුතු (අවසර ලබා) හැර අන් සියලුම බාහිර ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස අගමැති ජොන්සන් රට අගුළු දැමීමේ නව නියෝගය ප්‍රකාශයට පත්කරමින් සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. එසේම වයස අවුරුදු 70 ට වැඩි සහ සෞඛ්‍යවල පිරිස් සඳහා පෙබරවාරි මැද භාගයේදී අනිවාර්යයෙන්ම කොවිඩ් – 19 එන්නතක් ලබාදෙන බවටද අගමැතිවරයා තහවුරු කළේය.

නයන තරංග ගමගේ