විශේෂාංග

බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක වත්කමක් හිමි ‘වැඩ බැරි දැරිය’

මිෂෙල් මෝන්, ‘වැඩ බැරි’ ළමයෙකි. ඇය ඉගෙනීමට කොහෙත්ම දක්ෂ නැත. ඇගේ පන්තියේ ළමෝ ඇයට ඒ ගැන කියමින් සරදම් කළහ. උසුළු විසුළු කළහ. එහෙත් මිෂෙල්ට නම් එය ගැටලුවක් වුණේ නැත.

ඒ ඊට වඩා විසඳිය යුතු ප්‍රශ්න ඇගේ ජීවිතයේ තිබූ හෙයිනි.

වයස අවුරුදු දහයක පුංචි දැරියක වුවත් ඇයට ඒ වනවිට ජීවිතයේ බර හොඳට දැනී තිබිණි. ඇගේ මුළු පවුලම ජීවත් වුණේ ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝහි නැගෙනහිර අන්තයේ තිබූ තනි කාමරයක් සහිත කුලී නිවහනකය. ඒ තනි කාමරය පුරාම උතුරා යමින් තිබුණේ දුප්පත්කම පමණි. ඒ නිසා කුසගින්නෙන් ගෙවෙන වේල් ගණන අඩු කරගන්නට හැම කෙනෙකුටම වැඩ කරන්නට සිදුවිය. අවුරුදු දහයක් වයසැති මිෂෙල්ටත් රස්සාවක් කරන්නට සිදුවන්නේ ඒ නිසාය. ඇය මුලින්ම කළ රස්සාව ගෙවල් ගානේ ගොස් පත්තර බෙදීමයි. පාන්දරම නැගිට ගෙවල්වලට පත්තර බෙදීමෙන් පසුවය ඈ පාසල් ගියේ.

අවුරුදු දොළහ වනවිට ඇය, පලතුරු වෙළෙඳසැලක වැඩ කරන්නට ගියාය. එකකට පසු එකක් ලෙසින් කරන්නට සිදුවුණු වෙහෙසකාරී රැකියාවන් නිසාම ඇයට ඉගෙනගන්නට තිබූ කාලවේලාව සීමාසහිත විය. ඉගෙනගන්නට වැඩි උනන්දුවක්ද නොතිබුණු මිෂෙල් අවුරුදු පහළොව වනවිට, කිසිම අධ්‍යාපන සුදුසුකමක් හෝ සහතිකයක් නැතිව පාසැල් ගමන නිමා කළාය.

ඒ වනවිට කොඳු නාරටියේ පිළිකාවකින් පෙළුණු පියාගේ බෙහෙත් සපයා ගැනීම වෙනුවෙන් ඇයට පෙරටත් වඩා වෙහෙස වී වැඩ කරන්නට සිදු වී තිබිණ. ඒ නිසා ඇය නිරූපිකාවක ලෙසින් රැකියාවක් සොයා ගත්තාය.

ඒ අතරම තවත් අමතර රැකියා කිහිපයක් කරන්නටත් ඇය පටන් ගත්තාය. රැකියා දෙකක් හෝ තුනක් කිරීම වෙහෙසක් ලෙස ඇයට දැනුණේ නැත. ඇයට උවමනා වූයේ කවදා හෝ දවසක සාර්ථක ගැහැනියක වන්නටය.

අවුරුදු දාහතක් වෙද්දී මිෂෙල්ට පෙම්වතෙකු මුණගැසිණ. ඔහු ඇයව විවාහ කරගන්නට කැමැත්ත පල කළේය. නමුත් විවාහ වෙන්නට කලින් හොඳ රැකියාවක් කරන්නට ඇයට අවශ්‍ය විය. ඒ නිසා තම පෙම්වතා සමඟ එක්ව, බොරු අධ්‍යාපන සුදුසුකම් යොදා රැකියා ඉල්ලුම් පත්‍රයක් පිළියෙල කරගත්තාය. ඒ ව්‍යාජ අයදුම්පත්‍රය නිසා ඇයට ලබට්ස් ආයතනයේ රැකියාව ලැබිණ. එතැන් සිට මාස දහඅටක කාලයක් ඇතුළත, ඇය එම ආයතනයේ විකිණුම් හා අලෙවිකරණ අංශයේ ප්‍රධාන තනතුරට පත් වූවාය. ඒ ඇය අලෙවිකරණයට එතරම්ම දක්ෂ තරුණියක වූ නිසාය. එහෙත් මොකක්දෝ හේතුවකට යන එන හැමතැනකම අවාසනාව ඇයව ලුහුබැන්දේය. හිටිහැටියේම ඇය සේවය කළ ආයතනය වෙනත් පුද්ගලයෙකුට විකුණා දමනු ලැබිණ. එතැනදී අනවශ්‍ය සේවක පිරිස ඉවත් කෙරිණ. මිෂෙල් මෝන්ද ඇතුළු වූයේ ඒ අනවශ්‍ය සේවකයින් ගොඩටය.

මේ උස් පහත්වීම් මැදින් ජීවිතය ගලාගෙන යන අතර මිෂෙල් විවාහ වූවාය.

දිනක් ඇයට ඇගේ සැමියා සමඟ රාත්‍රී සාදයකට යන්නට සිදුවී තිබිණ. ඒ සාදය විශේෂ එකකි. එයට පැමිණෙන්නේ යමක් කමක් ඇති, ජේත්තුකාර පිරිසක්ය. ඉතින් හොඳට ඇඳ පැළඳගෙන යා යුතුය. ඇය ඇගේ හැඩය කැපී පෙනෙන අන්දමේ ඇඳුමක් මිලදී ගත්තාය. ඒ ඇඳුමේ කරත් ගැඹුරට කපා තිබිණ. එලෙසින් ගැඹුරට කර කපා ඇති ඇඳුමක් අඳින විට, පියයුරුවල හැඩය ඉස්මතු වී පෙනෙන අන්දමේ තනපටයක් අඳින්නට ඇයට ඕනෑ විය. ඒ සඳහා මිලදීගත් තනපටය ඇයට කිසිඳු පහසුවක් දැනවූයේ නැත. ඒ නිසා ඇය ඒ සඳහා විශේෂිත තනපටයක් නිර්මාණය කළාය.

නමුත් ඒ තනපටය ඇගේ ජීවිතය වෙනස් කරනු ඇතැයි ඇය කිසිවිටෙකත් සිතුවේ නැත.

තමා විසින්ම නිර්මාණය කරගත් ඒ යට ඇඳුම හරි අපූරුවට ගැලපුණු අතර සිරුරට සුවපහසුවද දැනවීය.

‘‘මට විතරක් නෙවෙයි, මේක ගොඩක් කාන්තාවන්ට අවශ්‍ය වෙන දෙයක්. ඉතින් මට මේක අනිත් කාන්තාවන්ටත් ලබා දෙන්න බැරි ඇයි?’’ මිෂෙල් මෝන් ඇගේ අලුත් නිර්මාණය වැඩිදියුණු කරන්නට පටන් ගත්තාය.

තුන් වසරක පුළුල් අධ්‍යයනයකින් අනතුරුව, ඇය වඩාත් හොඳ තනපට වර්ගයක් නිපදවූවාය. ‘Ultimo’ නම් යට ඇඳුම් සන්නාමයේ උපත සිදුවුණේ ඒ විදියටය.

ඇගේ ඊළඟ පියවර වූයේ මේ සන්නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමයි. ජනතාවගේ අවධානය ලබාගැනීමට ඇය නිළියන් නව දෙනෙකු කුලී පදනම මත පැය ගණනකට ලබාගත්තාය. ඔවුන් යොදාගෙන ඔක්ස්ෆර්ඩ් වීදියේ කළ එළිමහන් ප්‍රදර්ශනයෙන් පසුව, ඔවුන් සියලුදෙනාම අත්අඩංගුවට ගැනිණ. එහෙත් ඒ ප්‍රචාරක උපක්‍රමය ඵල දරා තිබිණ. ඇය විසින් නිර්මාණය කළ යට ඇඳුම් මිනිසුන්ගේ අවධානය සොරාගෙන තිබිණ.

1996 නොවැම්බර් මාසයේදී ඇය ඇගේ MJM International Ltd නම් වූ කාන්තා ඇඳුම් නිශ්පාදන ආයතනය පිහිටවූවාය. ‘Ultimo’ සන්නාමය බිහිවුණේ එතැනිනි. පසුකාලීනව Ultimo සන්නාමය ලෝකය පුරා ජනප්‍රියතම කාන්තා ඇඳුම් සන්නාමයක් බවට පත් විය. මිෂෙල් මෝන් ලෝකයේ සාර්ථකම ව්‍යවසායිකාවන් අතරට එක්වූවාය. 2001 වසරේදී Prince’s Scottish Youth Business Trust හි අධ්‍යක්ෂක මණ්ඩලයට එකතු වෙන්නැයි චාල්ස් කුමරු විසින් මිෂෙල්ට ආරාධනය කරන ලදී.

කිසිඳු අධ්‍යාපන සුදුසුකමක් නැතිව පාසැල් ගමන නතර කර දැමූ මිෂෙල් මෝන්ට, ඇගේ ව්‍යාපාරික ශූරත්වය නිසාම 2002 නොවැම්බර් මාසයේ පේස්ලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිණ.

2010 වසරේදී, මිෂෙල්ගෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට සිදුවූ සේවය හේතුවෙන් ඇයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සම්මානය පවා හිමි විය. වර්තමානයේ ඇය බ්‍රිතාන්‍ය පවුම් මිලියන පනහක වත්කමක් හිමි ධනවත් කාන්තාවකි. වෙන කිසිවක්ම නැතත්, ධෛර්යයත් උවමනාවත් තිබේ නම් ගැහැනියකට කොතරම් දුර යා හැකිද? මිෂෙල් මෝන් එය ලෝකයට සැබෑවක් කර පෙන්වා දුන්නාය.

නිම්මි මුදිතා හේරත්