News

බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා යයි

බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (12 වැනිදා) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි පවසයි.

බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන්ගේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම තිදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අධිකරණ මගින් බන්ධනාගාරවලට යොමු කරන රිමාන්ඩ් සිරකරුවන් දින 14ක නිරෝධායනයට බූස්ස බන්ධනාගාරයට ගෙන එනු ලබන අතර ඒ අනුව දිනකට ඔවුන් පස්දෙනකුගේ පමණ අහඹු ලෙස ලබා ගන්නා සාම්පල් පී.සී.ආර්. සඳහා කරාපිටිය රෝහලට යවනු ලැබේ.

එලෙස කරන ලද පරීක්ෂණයකදී කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් මෙම තිදෙනා ඊයේ (12 වැනිදා) සවස කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතව තිබිණි.

බූස්ස බන්ධනාගාරයේ නිලධාරියකු පැවසුවේ මේ වන විට සාමාන්‍ය අංශයේ රැඳවූවන් 412ක් සහ විශේෂ අංශයේ රැඳවූවන් 48ක් සිටින බවයි.

ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල