News

බේරූට්හි පිපිරීමෙන් සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම්

ලෙබනනයේ අඟහරුවා (04) සිදුවූ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගොස් 4,000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

බේරූට්හි සිදු වූ විනාශකාරී පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ විමර්ශනය අඛණ්ඩව සිදුවන අතර අපරික්ෂාකාරී ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් පිපිරීමට හේතුව බව වාර්ථා වෙයි.

මෙම රසායන ද්‍රව්‍ය වැඩි වශයෙන්ම යොදා ගනු ලබන්නේ පොහොර නිෂ්පාදනය සඳහා සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහාය.

මීට වසර ගණනාවකට පෙර මෙම තොගය, රාජසන්තක කර වරාය ගබඩාවක් තුළ ගබඩා කර තිබූ බව ලෙබනනයේ ආරක්ෂක ප්‍රධානියාද තහවුරු කර තිබේ.

පිපිරුම නිසා සිදුව තිබූ හානිය අති විශාල බවත්, එම ස්ථානයේ සිට බොහෝ ඈතින් පිහිටි ස්ථානවලට පවා එහි බලපෑම දැනී තිබූ බවත් ඇය තවදුරටත් සඳහන් කර තිබිණි. කි.මී. 250ක් පමණ ඈතින් පිහිටා ඇති සයිප්‍රසයට පවා පිපිරුම දැනී තිබිණි.

මෙම සිද්ධිය සිදු වූයේ ලෙබනනය විවිධාකාරයේ ගැටලු ගණනාවකට මුහුණ දෙමින් දැඩි අර්බුදයක ගිලී සිටින අවස්ථාවකය. එරට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනියි.

ඒ අනුව තවදුරටත් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් සිදුවන අතර, තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොමැති තත්ත්වයක්ද උද්ගත වී තිබේ. විශේෂයෙන්ම පිපිරීමත් සමග ඇතැම් රෝහල්වලට දැඩි හානි සිදුවීමත්, මේ වනවිට නව කොරෝනා වසංගතයෙන්ද බේරූට් නගරය පීඩා විඳීමත් ඊට හේතු වී ඇත.

සිදු වූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බේරූට් වරාය නිලධාරීන් ගණනාවක් නිවාස අඩස්සියේ තබා ඇති බව ලෙබනන් රජය පවසයි.