බොරුව දාන්න එපා යැයි මංගලගෙන් ජවිපෙට සැර පනිවිඩයක්
චීනයේ ඉහළ පෙළේ නිලධාරියකු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පෑමෙන් වැළකී සිටියේ මන්දැයි හිටපු මුදල් ඇමැතිවරයකු වන මංගල සමරවීර ප්‍රශ්න කරයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධය පෑම පදනම් කරගනිමින් හිටපු ඇමැතිවරයා මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම පෙන්වා දී ඇත්තේ මෙම මාසය ආරම්භයේදී ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ඉහළ පෙළේ නියෝජිතයකු වන යැන් ජිවි සහ නියෝජිත පිරිසට කිසිදු විරෝධයක් නොපෑ බවයි.
‘‘අපගේ ස්වෛරීභාවය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඒ මොහොතේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධය පළ කළා නම් අපට ඔවුන්ගේ අව්‍යාජ භාවයට ගරු කළ හැකියි’’ යැයි හිටපු ඇමැතිවරයා සිය පණිවුඩයේ සටහන් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ පෙරේදා (27දා) කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධය පළ කරමින් ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට බලපෑම් කරමින් සිටින බවයි.
නයන තරංග ගමගේ
