නවතම ප්‍රවෘත්ති

මගේ කොණ්ඩෙට වශී වුණු කෙනෙකුත් ඉන්නවා

අද ‘ධරණී’ කවරය සරසන සොඳුරු රුවැත්තිය නෙත්මි රොෂෙල්ය. වරක් බැලූවිට තවත් වරක් හැරී බලන්නට සිතෙන තරමේ සොඳුරු රුවක් හිමි මේ තරුණ රංගන ශිල්පිනිය සොඳුරු කේශ කල්‍යාණයකටද හිමිකම් කියන්නීය. ඈ හා සිදුකල සංවාදය අතරතුර මටත් නොකියාම මගේ නෙත් ඇගේ කෙස් කළඹ අතර රැඳුනු බව ඔබෙන් සැඟවීමට මට අවැසි නැත. ඒ නිසාම ඒ සොඳුරු කෙස් කළඹේ රහස ගැන මට ඇගෙන් නොවිමසා සිටින්නට නොහැකි විය. මේ රොෂෙල් සමඟ සිදුකල සංවාදයේ සටහනයි.

 

මේ දවස්වල වැඩ කටයුතු කොහොමද රොෂෙල්?

ලොකු විශේෂත්වයක්නම් නැහැ. වෙනදා වගේම ෂූටින් වැඩයි, අධ්‍යාපනික කටයුතුයි සමබරව කරගෙන යනවා.

 

ඔබ රංගන ක්ෂේත්‍රයට එන්න හීන දැකපු කෙනෙක්ද?

නැහැ. මම රංගන ක්ෂේත්‍රයට එන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. ඇත්තටම මට රංගනයට අවස්ථාව ලැබුණේ අහම්බයකින් කිව්වොත් හරි.

 

පාසල් කාලේ රොෂෙල් දකාර චරිතයක්ද?

ගොඩක්ම දඟකාරී චරිතයකුත් නෙවෙයි. හැබැයි පොඩි පොඩි දඟ වැඩ කරලා නැහැ කියන්නත් බැහැ.

 

පවුලේ තොරතුරු ටිකකුත් දැනගන්න කැමතියි?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි. ඒ වගේම කියන්න ඕනේ මට ලස්සනම ලස්සන බල්ලෝ පස් දෙනෙකුයි පූසෝ හතර දෙනෙකුයිත් ඉන්නවා.

 

අම්මයි, තාත්තයි කැමති වුණාද රොෂෙල් රපාන්න එනවට?

මෙහෙමයි. අම්මා නම් මුල ඉඳලම ඒකට කැමති වුණා. හැබැයි තාත්තා නම් මම අවුරුදු කුමරිය තරගයට අයැදුම් කරන එකටත් ලොකු කැමැත්තක් දැක්වුවේ නෑ. හැබැයි ඉතින් දැන් නම් ඒ දෙන්නම මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා.

 

පානවා මුලින්ම ටීවී එකේ දකිද්දි කොහොමද දැනුණේ?

ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනුණා. එදා විතරක් නෙවෙයි. මුලින්ම ටෙලිඩ්‍රාමා එකකට ආරාධනා කරපු දවසෙත් ඒ වගේම සතුටක් දැනුණා.

 

‘දෙවනි ඉණිම ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ චරිතයට ඉහළම රසික ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඇත්තටම ඔව්. ආක්ෂාගේ චරිතයට ගොඩක් දෙනා කැමතියි. කලාකරුවෙක් තෘප්තිමත් වෙන්නේ රසිකයන්ගෙන් ලැබෙන ආදරය නිසයි. ඉතින් එයාලගෙන් මට ලැබෙන ආදරයට මමත් ආදරෙයි.

 

රොෂෙලුත් ඇත්තටම ආක්ෂා වගේ නපුරු කෙනෙක්ද?

ඔව්. මමත් ටිකක් නපුරුයි තමයි. හැබැයි ආක්ෂා තරම්ම නෙමෙයි.

 

රොෂෙල්ට ෆේස්බුක් එකෙත් හො රසික පිරිසක් ඉන්නවා අපි දකිනවා.

මම සෝෂල් මීඩියාවල ගොඩක් ඇක්ටිව් කෙනෙක් නෙවෙයි. ඒ වුණාට සමහර වෙලාවට මම ඡායාරූප එහෙම අප්ලෝඩ් කරනවා. ඉතින් ඒවට ගොඩක් දෙනාගෙන් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.

 

පොඩි කාලෙකින්ම ජනප්‍රිය වෙන්න ලැබුණේ රොෂෙල්ගේ ලස්සන නිසාද, දක්ෂතාවය නිසාද කියලා කෙනෙක් ඇහුවොත්?

මම හිතන්නේ ඒ දෙකම බලපෑවා. මොකද මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ අවුරුදු කුමරියක් වුණ නිසානේ. ඒකට මගේ ලස්සන බලපෑවා. ඒ කොහොම වුණත් රංගන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බලපාන්නේ නම් දක්ෂතාවය තමයි.

 

රංගන ක්ෂේත්‍රය ගැහැනු ළමයෙක්ට අභියෝගකාරී කියලා දැනුණු අවස්ථා නැද්ද?

රංගන ක්ෂේත්‍රය විතරක් නෙමෙයි, ඕනම ක්ෂේත්‍රයක් ගැහැනු ළමයෙක්ට අභියෝගකාරී කියලා මම හිතනවා. නමුත් අපිට එන අභියෝගවලට අපි මුහුණ දෙන විදිහ අනුව තමයි ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ.

 

ලස්සන ගැන රොෂෙල්ගේ අර්ථදැක්වීම මොකක්ද?

කෙනෙක්ගේ ලස්සන එයාගේ මතුපිට ස්වරූපයෙන් විතරක් මනින්න බැහැ. ඕනම කෙනෙක් බාහිරින් වගේම ඇතුළාන්තයෙනුත් ලස්සනයි නම් ඒකට තමයි සැබෑම සුන්දරත්වය කියන්නේ. ඒ වගේම කොච්චර ලස්සන කෙනෙක්ට වුණත් කුහකකම, ඊර්ෂ්‍යාව වගේ ගතිගුණ තියෙනවා නම් ඒ කෙනාගේ බාහිර ලස්සනටත් දීර්ඝකාලීන පැවැත්මක් නැහැ.

 

රොෂෙල් දකින විදිහට ගෑනු ළමයෙක්ට තියෙන්නම ඕන හො ගතිගුණ මොනවද?

පළවෙනි එක තමයි ඉවසීම. ඕනම ප්‍රශ්නයකදී හොඳට ඉවසලා හරිම තැනදී තීරණ ගන්න ගැනු ළමයෙක් දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම අනිත් එක තමයි ඇහුම්කන් දීම. ගෑනු ළමයෙක් අම්මා, තාත්තා එහෙමත් නැත්නම් වැඩිහිටියන් කියන දේට ඇහුම්කන් දෙන්න ඕනේ. මේ ගුණාංග දෙක තියෙනවා නම් ඕනම කෙනෙක්ට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්.

 

ඔබ කාලෙන් කාලෙට එන විලාසිතා අනුගමනය කරන කෙනෙක්ද?

නැහැ. එන එන හැම ට්‍රෙන්ඩ් එකම අනුගමනය කරන්නෙ නැහැ. හැබැයි මට ගැලපෙනවා කියලා හිතුණොත් මම ඒවා කරනවා.

 

රොෂෙල්ව අපි මුලන්ම අුනගන්නේ අවුරුදු කුමරියක් විදිහට. රොෂෙල් අවුරුදු කුමරියක් වුණේ ඔය ලස්සන කොණ්ඩෙ නිසාද කියලා අපි ඇහුවොත්?

ඔව්. අවුරුදු කුමරියක් කියන්නේ පංචකල්‍යාණයෙන් හෙබි යුවතියකටනේ. ඒ නිසා මගේ ජයග්‍රහණයට මගේ කොණ්ඩෙත් හේතු වුණා කියලා කියන්න පුළුවන්. ඇත්තටම කොණ්ඩේ දැන් මගේ අනන්‍යතාවයක් වෙලා කිව්වොත් හරි. මොකද මම පිටිපස්සට හැරිලා හිටියත් සමහර අය කොණ්ඩෙ නිසාම මාව අඳුනගන්නවා.

 

රූගත කිරීම්වලදි කොණ්ඩෙ ගොඩවෙලාවක් එක විදියට තියාගන්න පාවිච්චි කරන ප්‍රඩක්ට් නිසා රංගන ශිල්පිනියකට කොණ්ඩේ ලස්සනට තියාගන්න එක අභියොගයක් නේද?

ඇත්තටම ඒක නම් ගොඩක් ලොකු අභියෝගයක්. හැබැයි කොණ්ඩේ හරි විදිහට පිරිසිදු කරලා කොණ්ඩෙට ආදරෙන් සත්කාර කරනවා නම් කොණ්ඩෙ හොඳින් තියාගන්න අපහසු වෙන්නෙත් නැහැ. කොණ්ඩෙට ආදරේ කරන කෙනෙක් විදිහට ගොඩක් වෙලාවට මම ගෙදරදිම තෙල් සත්කාර කරනවා. ඒකට ස්වභාවික ගුණයන් යුක්ත තෙල් වර්ගයක් තමයි තෝරාගන්නේ. ආගන් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, එඬරු සහ පොල්තෙල් අඩංගු තෙල් සත්කාරයක් සතියට එක් වරක් හෝ දෙවරක් නිවසේදී කරගන්නවා.

 

රොෂෙල්ගේ කොණ්ඩෙට වශීවුණ විශේෂ කෙනෙක් එහෙම නැද්ද?

අපෝ ඉන්නවා. ඒ තමයි මගේ තාත්තා. තාත්තා නම් කවදාවත් මම කොණ්ඩෙ කපනවට කැමති වෙන එකක් නැහැ. තාත්තා මගේ කොණ්ඩෙට හරිම ආදරෙයි.

 

අවසාන වශයෙන් රොෂෙල් අනාගතය ගැන ලොකුවට සැලසුම් තියාගෙන ඉන්න කෙනෙක්ද කියලත් දැනගන්න කැමතියි?

පොඩි පොඩි සැලසුම්, හීන තියෙනවා. ඒත් හැමදාම සතුටින් ජීවත් වෙන එක තමයි ජීවතේ ලොකුම බලාපොරොත්තුව.

 

සටහන – සෙව්වන්දි හෙට්ටිආරච්චි