News

මධ්‍යම සංස්කෘතික අරමුදල භාණ්ඩාගාරයෙන් පඩි ඉල්ලයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් මිලියන එකසිය තිහක් බැගින් ලබා දෙන ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන සංචාරක ස්ථාන ප්‍රවේශපත්‍ර අලෙවිය අඩු වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දැනට සිටින දෙදහස් තුන්සිය තිහක් වන ස්ථිර සේවකයන් හා දෙසිය තිහක් වන අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් මිලියන දෙසිය තිහක මුදලක් අවශ්‍ය ‍වේ.

දුරකථන,ජල විදුලි බිල්පත් ගෙවීම සඳහා මාසිකව රුපියල් මිලියන විසිපහක් අවශ්‍ය වේ.

එම නිසා රට යථා තත්ත්වයට පත් වන තුරු ඉහත මිලියන එකසිය තිහක් වූ මුදල භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.

 

උදයජීව ඒකනායක