News

මරණ පරීක්ෂණයෙන් පසු මධූෂ්ගේ සිරුර ඥාතීන්ට

 

මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල වූ වෙඩි හුවමාරුවක දී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක’ මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

කොළඹ අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණයේ, මහෙස්ත්‍රාත්වරිය විසින් එම සිදුවීම වු ස්ථානය හා මෘත ශරීරය නිරීක්ෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මියගිය පුද්ගලයාගේ විවාහක බිරිඳ විසින් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ දී මෘත ශරීරය හඳුනාගෙන ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාර දීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වුවා.

“මේ සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරු දෙදෙනා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් මේ මරණයට අදාළ පරීක්ෂණ මේ වන විටත් සිදුකරමින් සිටිනවා. විශේෂයෙන් මේ මෙහෙයුමට සහභාගී වු පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි ඉදිරියේ දී අධිකරණය ඉදිරියේ මෙහෙයවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මාලිගාවත්ත පොලීසිය විසින් මේ මරණයට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ වැටලීම පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා. ඒ වගේම ඒ ස්ථානයේ තිබූ යතුරුපැදියක් සම්බන්ධයෙන් ද යම් තොරතුරු ලබා ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.“