විශේෂාංග

මරාගෙන මැරෙන කොටිකත එල්.ටී.ටී.ඊයට පිටුපා ප්‍රේමවන්තියක් වෙයි

‘‘ඕලන්දයේ සිටින සුගන්දන්ගෙන් කුමක් හෝ විසඳුමක් ලැබෙනු ඇතැයි සිතා දුරකතන කුටියට ගියත් සුගන්දන් කතා කළේ බිඳුණු හඬකින්.

දිගටම යුද හමුදාව ඉදිරියට යනවා. කිළිනොච්චිය ගත්තා. දැන් අලිමංකඩත් ගත්තා. A-09 පාර දැන් දිගටම තියෙන්නෙ යුද හමුදාව අතේ. වන්නිය (කොටි මූලස්ථානය) මොකද කියන්​නේ?’

කියලා එක දිගටම මම කියාගෙන ගියා. ඒත් සුගන්දන්ගෙන් පැහැදිලි පිළිතුරක් ලැබුණෙ නැහැ.’’

ලෝජිනී හා සුගන්දන් අතර සිදුවූ දුරකතන සංවාදය ලෝජිනී විස්තර කළේ එලෙසිනි.

එදින සිදුවූයේ ලෝජිනී හා සුගන්දන් අතර සිදුවූ අවසාන දුරකතන සංවාදය බව ලෝජිනී නොදැන සිටියාය. නමුත් කොටි නායකත්වය මුහුණ දී තිබෙන සැබෑ තත්ත්වය සුගන්දන් දැන සිටියේය. ඒ මක්නිසාදයත් කුමන බාධක මැද්දේ වුවද සුගන්දන් හා වන්නිය අතර සබඳතා සිදුවිය. එහිදී කොටි මුහුණ දී තිබෙන බැරෑරුම් තත්ත්වය සුගන්දන් දැන සිටියේය. නමුත් ඒ පිළිබඳව ලෝජිනීට පැහැදිලි කිරීමේ හැකියාවක් සුගන්දන්ට නොවිණි.

බොහෝදෙනා සිතා සිටිනුයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනවා යනු කොටි සාමාජිකයා හෝ සාමාජිකාව ඉලක්කය වෙත ගොස් බෝම්බය පුපුරුවාගෙන මරාගෙන මැරෙනවා යන ක්‍රියාවලිය පමණක් බවයි. නමුත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එක් අතකට යුද හමුදා දිගුදුර මෙහෙයුම් බළකා සාමාජිකයන් කොටි අඩවි තුළට කිලෝමීටර 40-50 දුර ගොස් ප්‍රහාර එල්ල කරනවාට සමානය. අනික් අතට ප්‍රහාරය එල්ල කරන කණ්ඩායම පමණක් එම ක්‍රියාන්විතයට සම්බන්ධ බව බොහෝදෙනා සිතති. නමුත් සැබෑ තත්ත්වය වන්නේ ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඇතුළුවන කණ්ඩායමක් විසින් ඉලක්කය පිළිබඳ ඔත්තු බැලීම, ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීමයි. දින කීපයක් හෝ සති දෙක තුනක් ඔත්තු බැලීමෙන් පසු ඔවුන් නැවත හමුදා කඳවුරට පැමිණේ. දෙවනුව වෙනත් හමුදා කණ්ඩායමක් ඇතුළුවන අතර ඔවුන් විසින් යුද උපකරණ හා ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් ඉලක්කගත ප්‍රදේශයේ සඟවනු ලබයි. තෙවනුව ඇතුළුවන කණ්ඩායම ප්‍රහාර එල්ල කරනු ලබයි. කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් සිදුවූයේද මීට සමාන ක්‍රමයකටය. එනම් තම ඉලක්කය පිළිබඳව කොටි නායක ප්‍රභාකරන් හෝ පොට්ටු අම්මාන් තීරණයක් ගත් පසු ඒ සඳහා ඔත්තු බැලීමට කණ්ඩායමක් යොදවනු ලබයි. ඔවුහු ප්‍රහාරය එල්ල කරන ආකාරය, සුදුසු දින වේලාව දැනුම් දේ. පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒම, සවි කිරීම, ප්‍රවාහනය කරන්නේ තවත් කණ්ඩායමකි. ප්‍රහාරකයා කරනුයේ ප්‍රහාරය එල්ල කිරීම හා අවශ්‍ය නම් පෙරහුරුවක් ලබාගැනීමයි.

නමුත් 2007-2008 වසර දෙක තුළ රජයේ පාලන ප්‍රදේශවලට ඇතුළු වී සිටි කොටි බුද්ධි අංශ සාමාජිකයන් හා ආධාරකරුවන් සැලකිය යුතු පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් ලද තොරතුරු මත සඟවා තිබූ කොටින්ට අයත් යුද උපකරණ විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම කොටි බුද්ධි ජාලය සමඟ සබඳතා පවත්වන ලද යුද හමුදාවේ මෙන්ම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කීපදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබුණ. ඒත් සමඟ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කොටින්ගේ බුද්ධි ජාලය මුළුමනින්ම පාහේ බිඳ වැටී තිබුණි.

කොටින්ගේ බුද්ධි ජාලය බිඳ වැටීම පිළිබඳව හිටපු කොටි දේශපාලන අංශයේ නායිකාව වන තමිලිනි ජෙයකුමාරන් විසින්ද සිය ජීවිත කතාව පිළිබඳව කෘතියේ සඳහන් කර ඇත. ඇය එහිදී සඳහන් කර ඇත්තේ වන්නි මානුෂීය මෙහෙයුම ජයග්‍රාහීව ඉදිරියට යන විට රජයට බලපෑමක් එල්ල කිරීම හා කොටි සාමාජිකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සඳහා කොළඹ වරායට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවය.

මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන මුහුදු කොටි සාමාජිකයන් හා සාමාජිකාවන් පිරිසක් කොළඹට එවා තිබී ඇත. නමුත් ප්‍රහාරය සැලසුම් කළ කොටි බුද්ධි ජාලය බිඳ වැටීම නිසා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට හැකියාවක් ලැබී නැත. ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සකස් නොකිරීම නිසා මරාගෙන මැරෙන මුහුදු කොටි කණ්ඩායම කොළඹ අතහැර කොටි පාලන වන්නියට ගොස් තිබුණි. ප්‍රහාරය එල්ල නොකර ආපහු පැමිණීම පිළිබඳව කෝපයට පත් මුහුදු කොටි නායක සුසෙයි විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන දඬුවම් කළ බවද තමිලිනි විසින් සඳහන් කර ඇත. මේ තත්ත්වය ලෝජිනීටද බලපා තිබුණි.

‘‘ටික දවසක් යනකොට මට තේරුණා මාව එව්වට එතනින් එහාට කිසිදෙයක් කෙරිලා නැහැ කියලා. එහෙට කියලා මට කරන්න දෙයක් නැහැ. හමුදා​වේ, පොලිසියේ අත්අඩංගුවට පත්වෙන්නෙ නැතුව ඉන්න ඕන. මගෙ ආරක්ෂාවට තිබුණෙ උඩුහක්කෙ හංගගෙන ඉඳපු සයනයිඩ් කරල් දෙක විතරයි. අත්අඩංගුවට පත් වුණොත් ඒක හපලා සියදිවි නසාගන්න එක තමයි එකම විසඳුම.’’

කොටි සංවිධානය කුමන පරාජයකට මුහුණ දී සිටියද අත්අඩංගුවෙන් බේරී ජීවත්වීමට ලෝජිනීට සිදුව තිබුණි. ඒ නිසා වෙනත් දිනවල මෙන් සුපුරුදු ලෙස පරිගණක පංතියට යාමට කියා නගරයට යාම නොකඩවා සිදුකෙරිණි. මේ අතර ත්‍රීරෝද රියදුරු රූබන්ද වරක් දෙවරක් ලෝජිනීට හමුවී තිබුණි. රූබන් පිළිබඳව තීන්දුවක් ගැනීමට ලෝජිනී දෙගිඩියාවකින් සිටියාය. මේ අතර එක් දිනක ලෝජනීට තම ආරක්ෂාව පිළිබඳව බියක් ජනිත කරන සිදුවීමක් විය.

‘‘දවසක් මම වව්නියාට නගරයට යන්න ත්‍රීරෝද රථයට නැග්ගා. මගේ ත්‍රීරෝද රථයේ රියදුරු හිටියේ ටිකක් වයසක කෙනෙක්. ටිකක් දුර යද්දි අපිට පිටුපස්සෙන් ළඟින්ම වගේ තවත් ත්‍රීරෝද රථයක් ආවා. පැති කණ්ණාඩියෙන් පිටුපස බලපු මගෙ රියදුරු කීවා පිටපස්සෙ වීල් එකේ පොලිස් බුද්ධි අංශ සාමාජිකයෙක් එනවා, ඇයි දන්නෙ නැහැ කියලා. මට හිතුණා මගෙ අවසාන දවස අද තමයි, ඒකට පිහිට සයනයිඩ් කරල තමයි කියලා. හැබැයි කිලෝමීටරයක් විතර දුර ආවට පස්සෙ පිටුපස්සේ ත්‍රීවිල් එකේ ආපු බුද්ධි අංශ සාමාජිකයා ඒකෙන් බැස්සා. ඒකත් මගේ රියදුරු බලලා කීවා, එයා බැස්සා කියලා. ඊටපස්සෙ බය අඩු වුණත් ඒ සිද්ධිය ගැන සැකය එහෙමම තිබුණා. කොහොමහරි වව්නියාවෙන් බහිද්දිම රූබන්ගෙ ත්‍රීවිල් එක ඇවිත් මගේ ළඟ නැවැත්තුවා.

නගින්න ලෝජිනීකියලා කීවා. මම දන්නෙ නැතිව මගෙ පස්සෙන්ම වගේ එයාත් ඇවිත් තියෙනවා. පොලිස් බුද්ධි අංශ සාමාජිකයගෙ සිද්ධිය නිසා කැළඹිල්ලෙන් හිටපු මම දෙපාරක් හිතන්නෙ නැතිව රූබන්ගෙ ත්‍රීවිල් එකට නැග්ගා.’’

වෙනත් දිනවල කතා කිරීමට හා ත්‍රීරෝද රථයට නැගීමට අදිමදි කරන ලෝජනී ආරාධනා කළ සැණින්ම ත්‍රීරෝද රථයට ගොඩවීම රූබන්ට ප්‍රහේලිකාවක් සේම සතුටට කාරණාවක්ද විය. එයින් උද්දාමයට පත් රූබන්,

‘‘ලෝජිනී අදවත් හොඳ උත්තරයක් දෙන්න.’’

ආයාචනාත්මකව ඉල්ලීමක් කළේය.

‘‘මම ඒ වෙලාවේ මානසිකව වැටිලා හිටියේ. ඒ නිසාම හිතුණා මගේ ආරක්ෂාවට කියලා කෙනෙක් ඉන්න ඕන කියලා. ඒ නිසා රූබන්ට මගේ කැමැත්ත දුන්නා. ඒ කියන්නේ ජීවිතයේ පළමු වතාවට මම ප්‍රේමවන්තියක් වුණා.’’

ලෝජනී කියන්නීය.

සනත් ප්‍රියන්ත