News

මහමැතිවරණයට ගමට යන්න ප්‍රවාහන පහසුකම්

අගෝස්තු මස 05 දින පැවැත්වෙන මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට කොලඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාවට ප්‍රවාහණ පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

අගෝස්තු 03 සඳුදා දින පුර පසලොස්වක පොහෝ දිනය බැවින් දීර්ඝ නිවාඩුවක් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන නිසා ජූලි මස 31 දින කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන පිරිස වැඩි විය හැකිය. එම පිරිසට තදබදයකින් තොරව මෙන්ම කොවිඩ් 19 සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රවාහණ සේවා සැලසීම තම අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ් අනුව අමතර පුද්ගලික බස් රථ 600ක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු යොදා ඇති අතර ලංගම විසින් ඔවුන් සතු සියලුම බස් රථ ධාවනය සඳහා යොදවා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සියලුම දුම්රිය ධාවනය සඳහා යොදවන අතර ඇතැම් ගමනාන්තයන් දිර්ඝ කිරීමටත්, විශේෂ දුම්රිය කිහිපයක් අමතරව ධාවනය කිරීමටත් කටයුතු යොදා ඇත.

විශේෂයෙන් ජූලි 31 සිට අගෝස්තු 4 දක්වා කාලය තුළ වැඩි පිරිසක් කොළඹින් බැහැර යාමටත්, අගෝස්තු 7-9 දක්වා කාලය තුළ ආපසු පැමිණීමටත් ඉඩකඩ පවතින හෙයින් එම කාලය තුළ තදබදයකින් තොරව මගී ජනතාවට ගමන් කිරීමට පොදු ප්‍රවාහණ සේවා යොදවන බව අමාත්‍යවරයා සදහන් කළේය.