මහවැලි ජලාශ ආශ්‍රිතව ඉදිරියටත් කුඩා භූකම්පන
මහවැලි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල කුඩා භූ කම්පන ඉදිරි කාලයේ දී ද සිදු විය හැකි බවත්, ජලාශවල ජල පීඩනය නිසා හෝ ජලාශ ආශ්‍රිත හුණුගල් පැලෙද්දී ගැබ්ව ඇති පීඩනය පිටවීමේ දී මෙවැනි කම්පනයන් ඇති වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක පවසයි.
ඉකුත් අගෝස්තු මස 29 වැනිදා රාත්‍රි කාලයේ දී සහ මේ මස 02 වැනිදා පෙරවරුවේ දී වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල රිච්ටර් පරිමාණ දෙකක පමණ අගයක් ගන්නා භූ චලන සිදු වී තිබුණි. මෙම භූ කම්පන වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයටම සීමා වූ භූ කම්පන බවත්, ජලාශ ආසන්න පාෂාණ බොහෝමයක් ඩොලමයිට් හුණුගල්, විපරිත කාබනේට් පාෂාණ බවද සම්මානිත මහාචාර්යවරයා කීවේය.
මෙම පාෂාණවල පීඩනය අඩුවැඩිවීම ඉකුත් භූ චලන දෙකටම බලපාන්නට ඇති බවත්, මෙම තත්ත්ව සුළුවෙන් බැහැර නොකළ යුතු බවත් ඔහු පැවැසුවේය.
මෙවැනි කුඩා භූ කම්පන දෙක තුන ඉදිරි කාලයේ දී සිදුවිය හැකි බවත්, ජලාශවල ජල ප්‍රමාණය අඩු වැඩි වූ විටද පීඩන තත්ත්වයන් ඇති වන බවද සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක කීවේය.
පසුගිය දින දෙකෙහි සිදු වූ භූ චලන වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල සවිකර තිබෙන සංවේදී උපකරණ පද්ධතිවලද සටහන්ව තිබූ බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.
වික්ටෝරියා ජලාශයේ වේල්ලේ තිබෙන ඉරි තැලීම මෙම භූකම්පන නිසා අඩුවීමක් හෝ වැඩිවීමක් පෙන්නුම් නොකරන බවද මහවැලි අධිකාරිය පවසයි.
සාලිය කුමාර ගුණසේකර
