News

මහ බැංකු කොල්ලයේදී නිදා සිටි අය පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලීම හාස්‍යයක්

එදා මහ බැංකුව මහ දවල් මංකොල්ල කන විට නිදිමතින් සිටි පිරිස් අද එක්වරම සිහිනෙන් අවදි වූවා සේ මුදල් පනත් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටීම හාස්‍යයට කරුණක් බව හිටපු රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවා ඇති විට හදිසි අවශ්‍යතාවයකදී ප්‍රතිපාදන යොදවන ආකාරය ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබියදී පටු පරමාර්ථ වෙනුවෙන් ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කර කතා කිරීම කනගාටුවට කරුණක් යැයිද හෙතෙම පෙන්වා දෙයි.

මහනුවර පිහිටි සිය කාර්යාලයේදී පෙරේදා (27 වැනිදා) ඔහු මේ බව කීවේය.

මේ මොහොතේදී පාර්ලිමේන්තුව කැඳවීමෙන් කිසිදු පදනමක් නොමැති බවද හෙතෙම පැවැසීය.

තම පඩි නඩි සහ විශ්‍රාම වැටුප පිළිබඳව පටු අරමුණින් ක්‍රියාකරන දේශපාලනික කණ්ඩායම අද දේශපාලනයේ කුණු කූඩයට වැටී ඇති බවත්, ඔවුන් ඒ වෙනුවෙන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් තම අරමුණු ඉටුකරගැනීමට උත්සාහ කරන බවත් ඔහු කීවේය.

 

කමල් සුරවීර