News

මහ මැතිවරණයේ සෞඛ්‍ය අයවැය ලබන සතියේ සකස් කෙරේ

එළැඹෙන මහ මැතිවරණය සඳහා පිරිසුදුකාරක සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ මිලදී ගැනීම සඳහා වන අතිරේක අයවැය ලබන සතිය ඇතුළත සකස් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මේ වන විට දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල පැවැත්වෙන පෙරහුරු ඡන්ද විමසීම්වලින් අනතුරුව සෞඛ්‍යාරක්ෂිත උපකරණ වෙනුවෙන් සකස් කරන අයවැය ඇස්තමේන්තුගත කරන බවයි.

‘‘අපි දැනුත් (15 දා) ඉන්නේ මුලතිව්වල පෙරහුරුවක් පවත්වමින්. තව එක පෙරහුරුවක් සති අන්තයේ කොළඹදී පවත්වන්න නියමිතව තියෙනවා. ඉන් අනතුරුව ලබන සතිය ඇතුළත මේ අතිරේක අයවැය සකස් කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් ඔහු පැවසීය.

සෑම ඡන්ද කොට්ඨාසයකටම අවශ්‍යතා මත පදනම්ව අදාළ සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ සෞඛ්‍යාරක්ෂක උපකරණ මිලදීගත යුතු බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට අමතරව ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය අමතර පහසුකම් සැපයීම සඳහාද පිරිවැය ගණනය කළ යුතු බව සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සියලුම ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන, මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලය මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලද ඉදිරි මහ මැතිවරණයේදී කොවිඩ් -19 වයිරසය වැළැක්වීමේ සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට නියමිතය.

නයන තරංග ගමගේ