Latest News

මාසෙකට පස් දෙනෙකුටවත් නොමිලේ දත් දාලා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව

“මිනිස්සුන්ගේ ලස්සනම දේ තමයි හිනාව කියන්නේ. මම හැමවෙලේම හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. වයසට යද්දි කටේ තියෙන දත් ටික වැටිලා ගියාම ගොඩක් අය හිනාව හංග ගන්නවා. දත් නැති නිසා එයාලා හිනාවෙන්න කැමති නෑ. ඒ නිසා මම “Mack Smiles Foundation” කියලා පදනමක් පිහිටෙව්වා. ඒකෙන් කරන්නේ වයස්ගත අයට ‘කෘතිම දත්’ ලබාදෙන එක. මේ පහසුකම ලබාගන්න එන අය ඒවා දාගෙන ලස්සනට හිනාවෙලා යනකොට හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.”

මා මෙසේ උපුටා දැක්වූයේ වරක් ධරණී කවරය දරා සිටි සැන්ඩ්‍රා මැක් මීට මාස කිහිපයකට පෙර ‘ධරණී’ සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක කොටසක්ය.

එම සම්මුඛ සාකච්ඡාවේ මූලික අරමුණ අනෙකක් වුවත් සැන්ඩ්‍රා ඇයගේ මැක් ස්මයිල්ස් පදනම පිළිබඳව සඳහන් කළ මෙම වාක්‍ය කිහිපය බොහෝදෙනාගේ නෙත ගැටී ඇති බව අපට පැහැදිලි වූයේ එම පදනම පිළිබඳව විමසා දුරකතන ඇමතුම් ගලා එන්නට වූ නිසාය.
එසේ මැක් ස්මයිල්ස් පදනමේ සහාය ලබාගත් ‘ධරණී’ පාඨකයෙකු පිළිබඳව පසුගිය දිනෙක සැන්ඩ්‍රා ෆේස්බුක් සටහනක් තබා තිබුණි. ඒ නිසා සිනහව අහිමි වූවන්ගේ මුවඟට සිනහව කැන්දන මැක් ස්මයිල්ස් පිළිබඳව තවදුරටත් ඔබව දැනුවත් කිරීම වැදගත් යැයි අපි සිතුවෙමු.
“දවසක් මගේ අම්මට දන්ත වෛද්‍යවරයා හමුවීමට යන්න අවශ්‍ය වුණා. ඒ ගමනට මාත් එක්ක ගෙදර අපේ උදව්වට හිටපු ආන්ටිත් ආවා. අම්මගේ නරක් වුණ දතක් තියෙනවා, ඒක අයින් කරලා අලුතෙන් දතක් දාන්න ඕනේ කියලා එතැනදී දන්ත වෛද්‍යවරයා කිව්වා.

වෛද්‍යවරයා ඒ කටයුත්ත කරන අතරතුරේදී මගෙත් එක්ක ආව ආන්ටි මටත් දත් හතරක් මාරු කරගන්න තියෙනවා කියලා නිකමට වගේ මට කිව්වා. ඒ වෙලාවේ මට ලොකු දුකක් දැනුණා. මම ඒ මොහොතෙම ඇයගේ කටයුත්තත් කරලා දෙන්න කියලා වෛද්‍යවරයාට කිව්වා. දත් දැම්මට පස්සේ ඇය ඉස්සරටත් වඩා ලස්සනට හිනා වුණා. ඔය සිදුවීමෙන් තමයි මේ වගේ වැඩක් කරන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවේ.”

අඩු ආදායම්ලාභී හෝ ආදායම් නොලබන වැඩිහිටියන්ට කෘතිම දත් ලබාදීමේ අදහස මෙයට වසර ගණනාවකට පෙර සැන්ඩ්‍රාගේ සිතට නැගුනේ එලෙසය. නමුත් මවගේ අසනීප තත්ත්වයන් සමඟ කාර්යබහුල වූ නිසා ඒ අදහසට පණදීමට ඇයට තරමක් අපහසු වූ බව ඇය කියයි.

“මගේ අම්මා ‘චාලට් මැක්’ ඇය ආන්ත්‍රා වුණාට පස්සේ ඇයවයි, ‘කාලයිල් මැක්’ මගේ පියාවයි සිහිවෙන එකත් අරමුණු කරගෙන 2020 වසරෙදි මම ‘මැක් ස්මයිල්ස් ෆවුන්ඩේෂන්’ එක නිල වශයෙන් පටන්ගත්තා.”
සැන්ඩ්‍රා එසේ පවසද්දී පමණ ඉක්මවා සංවේදී වූ බවක් මට දැනුණි. තම මව සහ පියා වෙනුවෙන් ඇය ඉදිකළ මෙම පදනම මේ වනවිටත් කිහිපදෙනෙකුගේම සිනහවට හේතු වූ පදනමක් බවට පත්ව හමාරය.

“පදනම පටන් ගන්න කලින් මම මේ කටයුත්තට සහාය දෙන්න කැමති වෛද්‍යවරයෙකු ගැන සොයා බැලුවා. එතැනදී තමයි යහළුවෙකුගේ මාර්ගයෙන් මට වෛද්‍ය ඉන්දික වීරප්පෙරුම මහතා මුණගැසුණේ. ඔහුත් සමාජ සේවයට ඉතා ලැදි කෙනෙක්.
මේ සේවය සඳහා ඔහු කිසිඳු වෛද්‍ය ගාස්තුවක් ලබාගන්නේ නැහැ. ඇත්තටම මේ ක්‍රියාවලිය වෙනුවෙන් ලොකු මුදලක් වැයවෙනවා. ඒ අවශ්‍ය අනෙකුත් සියලුම වියහියදම් පදනම හරහා දරනවා.”

මේ වෙනුවෙන් සැන්ඩ්‍රා ඇයගේ කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරන්නීය. එසේම මෙම කටයුත්තට ඇයගේ නෑ හිතමිත්‍රාදීන්ගේ මූල්‍යමය උපකාරද ඇයට ලැබෙන බව මතක් කිරීමට ඇය අමතක නොකළාය.

“ඇත්තටම කොවිඩ් නිසා මම හිතුව තරම් වැඩිහිටියන් පිරිසක් මේ සේවාව ලබාගන්න සම්බන්ධ කරගන්න මට බැරි වුණා. ගොඩක් වැඩිහිටියන් වසංගත තත්ත්වය නිසා දන්ත සේවාවන් ලබාගන්න බයක් දක්වනවා. කොවිඩ් තත්ත්වය යහපත් අතට හැරුණාම මාසෙකට වැඩිහිටියන් පස් දෙනෙකුටවත් නොමිලේ දත් ලබාදෙන එක තමයි මගේ බලාපොරොත්තුව.”

මැක් ස්මයිල් පදනම රජයේ පිළිගත් පුණ්‍යායතනයක් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය කටයුතු ඇය මේ වනවිටත් සම්පාදනය කර අවසානය. එසේම ඉදිරියේදී තවත් වෛද්‍යවරුන්ගේ සහාය ලබාගෙන සේවාවන් ප්‍රමාණය වැඩි කිරීම ඇයගේ අරමුණයි.

“මැක් පදනමෙන් ලබාගන්න පුළුවන් සහාය ගැන ගොඩක් දෙනා දැනුවත් නැහැ. ඒ වෙනුවෙන් ඉදිරියේදී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ‘ධරණී’ නිසා කිහිපදෙනෙක්ම මේ ගැන දැනුවත් වෙලා මගෙත් එක්ක සම්බන්ධ වුණා. ධරණී පුවත්පත කාන්තා පුවත්පතක් වුණත් වැඩිහිටි පිරිමි අය පවා ධරණී කියවලා මට කතා කළා.

පහුගිය දවසක ඒ වගේ කතා කරපු ධරණී පාඨකයෙක් මැක් පදනමේ සේවාව ලබාගත්තා. ඔහු මේ සේවාව ලබාගත්තට පස්සේ හදවතින්ම හිනාවෙනවා මම දැක්කා. ඔහුගේ ඒ හිනාවේ සතුට මට වගේම ‘ධරණී’ටත් අයිතියි කියලා මම කියන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් දත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න කියලා කියන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.”

සැන්ඩ්‍රාගේ මැක් ස්මයිල්ස් පදනමේ සහාය ලබාගත් ඔවුන් පමණක් නොව සැන්ඩ්‍රා ද හදවතින්ම සිනහ නගන්නියක්ය. අන්‍යයන්ගේ සිනහවට හේතු වන්නට උත්සාහ දරණ ඇයගේ ඉදිරි අරමුණු කරා යන්නට සියලු ශක්තිය ලැබේවා යන්න ‘ධරණී’ අපේත් පැතුමයි!

සටහන – සෙව්වන්දි හෙට්ටිආරච්චි