News

මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථයයි

පැරැණි පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්දනය කඩාකප්පල් කර මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථය වී ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙසේද කියා සිටී.

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්දන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත්වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වැනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්දන ව්‍යාපෘතිය ඇතුළු රජයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට නෛතික බලයක් නැති බවත්, පරණ පාර්ලිමේන්තුව නැවත රැස් නොකොළොත්, ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩු පාර්ශ්වයේ සිටින අපගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත්, දේපළ රාජසන්තක විය හැකි බවත් තර්ජනය කරමින්, මේ රටේ දේශපාලන විපක්ෂය රණ්ඩු කරන ආකාරය අපි දකිමු.

මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබුවේ ලංකාවේ එකම කොරෝනා රෝගියෙකුවත් නොසිටි අස්ථාවකය. ඊට සති එකහමාරකට පසු මුල්වරට රෝගියෙකු හමුවීම නිසා, මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත. ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව සුදුසු අවස්ථාවක ඔවුන් මැතිවරණය පවත්වනු ඇත.

ලංකාවේ කොරෝනා මර්දන ව්‍යාපෘතිය ලෝකයේ බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති තත්ත්වයක් යටතේ මැතිවරණයක් පවත්වනු ලැබුවහොත්, විපක්ෂයට අවාසිදායක වෙන නිසා, කෙසේ හෝ යළිත් පැරණි පාර්ලිමේන්තුව කැඳවාගෙන, ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩාකප්පල් කොට, මහා මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථය වී ඇති බව පැහැදිලිය.

ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලයක් ඇත. අදාළ කාරණය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් තිබේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවන්නේ නැත්තේ, කොරෝනා මර්දනයට පිටරටින් ලැබෙන මුදල් අවභාවිතා කිරීමට බව විපක්ෂය කරන තවත් චෝදනාවකි.

ඒ මුදල් වියදම් වෙන ආකාරය ගැන අධීක්ෂණය කිරීමට පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවිය යුතු බව ඔවුන් කියයි. ආණ්ඩුවට පිටරටින් ලැබෙන සියලුම මුදල් මහ බැංකුවේ අදාළ පද්ධතිය හරහා මහා භාණ්ඩාගාරයට යයි. මේ මුදල් වියදම් කිරීමේ දී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇත. යහපාලන ඇමැතිවරු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වැය කළ ආකාරයට මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කළ නොහැක.

අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු, පරණ පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද මොහොතේ සිට අලුත් පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව දක්වා රජයේ මුදල් වැය වූ ආකාරය ගැන ප්‍රශ්න නැගීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇත. එතෙක් ඔවුන් ජනතාවට බොරු නොකියා සිටිය යුතුය.

මේ අවස්ථාවේදී අපි මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත්, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් අවධානය යොමු කළ යුතුය.