News

මැතිවරණ ආරවුල් කළමනාකරණයට රටපුරා මධ්‍යස්ථාන

මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම සඳහා ඇතැම් දිස්ත්‍රික්කවල භූමි රටාව අනුව ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථාන කීපයක් පිහිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආරවුල් කළමනාකරණ ප්‍රධාන මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක වන අතර, ඊට අමතරව තවත් මධ්‍යස්ථාන කීපයක් දිස්ත්‍රික්කයේ භූමි රටාව සහ මැතිවරණ ආරවුල් වැඩි වශයෙන් වාර්තා වෙතැයි කරනු ලබන අනුමාන අනුව පිහිටුවීමට නියමිතය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ ඇඹිලිපිටිය යන ප්‍ර‍දේශවලද, කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ හෝමාගම යන ප්‍ර‍දේශවලද, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේද යනාදී ලෙස මැතිවරණ ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.

මැතිවරණ ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථානයන්හි රාජකාරි කටයුතු කරන නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් පුහුණු කිරීමේ වැඩසටහන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (21 වැනිදා) සහ​ පෙරේදා (20 වැනිදා) යන දිනයන්හි පවත්වන ලදී.

විශේෂ මැතිවරණ පැමිණිලි කිසිවක් මෙම මධ්‍යස්ථානවලට ඊයේ (21 වැනිදා) දක්වා වාර්තා වී නැතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

සාලිය කුමාර ගුණසේකර