නවතම ප්‍රවෘත්ති

මුස්ලිම් තරුණයන්ට කොටින්ගේ ආයුධ බෙදීමේ චෝදනාව ගැන රාජ්‍ය ඇමති හිස්බුල්ලාගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

කොටි සංවිධානය සතුව පැවැති අවි ආයුධ 5,000 ක්  රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා සහ තමන් විසින් මිලදී ගෙන මුස්ලිම් තරුණයන්ට ලබා දී ඇති බවට පසුගියදා දෙමළ විමුක්ති පක්ෂය  නැගූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අද (31)දින පොලිස්පතිවරයා වෙත ලිපියක් මගින් දැන්වීය.

දෙමළ විමුක්ති කොටි පක්ෂය පැවැසූ මේ පදනම් විරහිත කතාව තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇමතිවරයා යැවු ලිපියේ සඳහන් වේ.

දෙමළ විමුක්ති පක්ෂයේ නායක, හිටපු කොටි නායකයකු වන කන්දසාමි ඉන්බරාසා  අගෝස්තු 18 වනදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර අවි ආයුධ තිබුණේ නම් ඒවා අලෙවිකළේ  කාටද කවදාද කෙසේද යන්න පිළිබඳව ඔහුගෙන් ප‍්‍රශ්න කර රටට තොරතුරු හෙළිදරව් කරන ලෙස ද ඔහු යැවු ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා හා නීතිය සාමය පිළිබඳ ඇමතිවරයා වෙත ද යොමු කර තිබේ.