News

මේ සතියේදී කොවිඩ් පාලනයට අලුත් ගැසට්ටුවක්

කොවිඩ් 19 වයිරසය පැතිර යාම පාලනය කිරීමේ රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් මෙම සතියේදී ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නීතිරීති බලාත්මක කිරීම, කොවිඩ් 19 වයිරසය පැතිර යාම පාලනය කිරීම සඳහා වූ නීති රීති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල පවරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

මෙම ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේද උපදෙස් මත සකස් කර ඇති අතර මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපතිවරයාද උපදෙස් ලබාදී තිබේ.

නිරෝධායන පනතේ බලතල පැවැරීමේ ගැටලුව නීත්‍යනුකූල කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර ඇත.

ඇඳිරිනීතිය පැනවීමේ ක්‍රමවේදය මෙන්ම නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක නොකිරීම නිසා ඉදිරියේදී මූලික අයිතිවාසිකම් නඩු ගොනු වුවහොත් සිය සාමාජිකයන් අසීරුතාවයට පත්වන බව සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසුවේය.

 

උදයජීව ඒකනායක