මෛත්‍රිගේ තිළිණ ප්‍රදානය නැවැත්වූයේ අවසරයක් තිබියදී
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් පොළොන්නරුවේ පෙරේදා (15දා) පැවැති උත්සවය මැතිවරණ නිලධාරීන් විසින් නතර කරනු ලැබුවේ ඒ සඳහා ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරය ලබා ගෙන ද තිබියදී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය.
පොළොන්නරුවේ සාහසික දේශපාලනය ඊට මුල් වී ඇති බවද හෙතෙම කීවේය.
පොළොන්නරුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ දරුවන් ඇගැයීම හා තිළිණ ප්‍රදානය සඳහා පැවැති මෙම උළෙලේ දී ලබා දුන් තිළිණ පතේ ‘‘මම ඔබට පුදකරමි’’ යනුවෙන් සඳහන් පාඨය මෙහි ගැටලුව වූ බවත් හෙතෙම කීවේය.
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළ මහ ලේකම්වරයා එම උළෙල සෑම වසරක දීම සංවිධානය කෙරෙන්නක් බවත් කීවේය.
උළෙල වෙනුවෙන් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් පූර්ව අවසරය ගත් නමුත් මේ සම්බන්ධයෙන් කවුරුන් හෝ වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද කී ඒ මහ ලේකම්වරයා කෙසේ වුවද අවසානයේ සිදු වූයේ උසස් පෙළ දරුවන් ඇගැයීමේ උළෙල අතරමග නතර කිරීමට සිදු වීම යැයි ද කීවේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ‘ලක්දරු දිරිය’ පදනමේ සංවිධායකත්වයෙන් මෙම උළෙල පැවැත් විණි.
නිලන්ත මදුරාවල
