මොරටුව MOH කොරොනා ගැන හරි තොරතුරු දෙන්නේ නැතිලු
කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය නිසි අයුරින් ලබා නොදීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි මොරටුව නගරාධිපති ඩබ්. සමන් ලාල් ප්‍රනාන්දු පැවසීය.
ඔහු මේ පිළිබඳ පැවසුවේ මොරටුව මහ නගර සභාවේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. නගරාධිපතිවරයා එහිදී මෙසේද කීවේය.
‘‘මේ මොහොතේ ලංකාවේ කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මොරටුව මහ නගර සභා බල සීමාව ජනගණත්වය වැඩිම ප්‍රදේශයක් වන නිසා එම බලපෑම වැඩිවී තිබෙනව. බෝවන රෝග ව්‍යාප්ත වීම අතිශයින් වැඩි නගරයක් මේක. මේ නිසාම මීට වසර හත අටකට පෙර සිටම ඩෙංගු ව්‍යාප්ත වීම අවම කිරීමට මොරටුව මහ නගර සභාව ලෙස අපි ක්‍රියා කළා.
පළමු වතාවට කොරෝනා වසංගතය ඉස්මතු වූ අවස්ථාවේ මොරටුව මහ නගර සභාව ඉතාම සාර්ථකව ඊට මුහුණ දුන්නා. ඊට ජනාධිපතිවරයා ද සහාය දැක්වූවා. ඒ අවස්ථාවේ මොරටුවේ එකම ආසාදිතයෙක්වත් හිටියේ නෑ.
මේ කාලයේදී වැස්ස පවතිනවා. එය නවත්තන්න බැහැ. එම නිසා කොරෝනා වගේම ඩෙංගු රෝගයත් ඉස්මතු වීමට හැකියාව පවතිනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු විසින් නිලධාරීන් 30 දෙනෙක් යොදවා දිනකට නිවාස දහසකට අධික ප්‍රමාණයක ඩෙංගු පරීක්ෂා කරනවා.
වරිපනම් බදු ගෙවන නිවාස 350 කට අධික නිවාසවලට ගොස් කසළ එකතු කරනවා. විශේෂයෙන් අවදානමක් සහිතව මේ මොහොතේ කොවිඩ් ආසාදිත අය පිළිබඳ හා නිරෝධායන වන නිවාස පිළිබඳ නිවැරැදි තොරතුරු ලැබෙන්නේ නැහැ. මේ නිසා ඩෙංගු පරීක්ෂාව හා දෛනිකව කසළ ඉවත් කිරීම කළ නොහැකි තත්ත්වයක් මතුවෙලා. මේ සියලු කාරණා උදෙසා 300 කට අධික සේවකයන් පිරිසක් යොදවා ගන්නවා.
මාර්තු මස 20 නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව මහ නගර සභාවක නගරාධිපති හෝ ප්‍රාදේශීය සභාවක සභාපති ඒ සීමාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විය යුතු බව සඳහන්ව තිබෙනවා.නගර සභා ආඥා පනත අනුව පැහැදිලිවම ඒ වගකීම දැරිය යුතුයි.
මේ සියලුදේ නිසි ලෙස කළ හැකි වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ නිලධාරිනිය පළාත් පාලන ආයතන සමග කරන ගනුදෙනුව යහපත්ව සහ සුහඳව සිදු කිරීමෙන් පමණයි.
සමස්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරුන් අපි දකින්නේ දෙවිවරු ලෙසයි. ඒ දෙවිවරු අපිට පිහිට වෙන්න ඕනෑ. ඒ අය පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග එකතු වී වැඩ කළ යුතුයි. දෛනිකව රැකියාවේ නියුතු අයව නිරෝධායනය සඳහා යොමු කළහොත් ඒ අයට කෑම ලබා ගැනීම සඳහා නිවැසියන් බැහැරට එනවා. අපට කන්න නැහැ අපට කන්න දෙන්න කියලා නිරෝධායන වන නිවාසවලින් පොලිසියට මැසිවිලි එනවා.
පළාත් පාලන ආයතනවලට තිබෙන වගකීම තමයි මේ මොහොතේ ඔවුන්ව බලා ගැනීම, එම නිසා යම් යම් නීති රෙගුලාසි හා චක්‍ර ලේඛවලට යට නොවී ඒ නිරෝධායනය වන නිවාස සඳහා ආහාර මල්ලක් ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහාය විය යුතුයි. ඒ සඳහා තොරතුරු ලබාදී සහාය දක්වන මෙන් ඉල්ලා සිටිනවා.’’
