News

යතුරුපැදි අනතුරින් අවුරුදු 04ක දරුවෙකු මියයයි

මුන්දලම පොලිස් වසමේ කීරියන්කල්ලිය -ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත.

ඊයේ (04) දහවල් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම – ගල්කුලිය, නො:06 ලිපිනයේ පදිංචිව සිටි එච්.එම්.නිතූෂ තේමියන් (අවු: 04 යි මාස 03) නම් කුඩා දරුවෙකි.

මෙම අනතුරින් තුවාල ලබා ඇති එච්.එම්.නිම්සර ශ්‍රීමාල් (අවු:15), එච්.එම්.තිලක් චතුරංග (මිය ගොස් ඇති අයගේ සහෝදරයා සහ පියා) සහ උඩප්පුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 54895 ඒ.එච්.එම්.කිත්සිරි අබේසිංහ යන අයවළුන් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරින් තුවාල ලබා ඇති පොලිස් කොස්තාපල්වරයා තම රාජකාරි අවසන් කර යතුරු පැදියෙන් නිවස බලා ගමන් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී පියා සහ පුතුන් දෙදෙනෙකු යතුරු පැදියකින් ජලය රැගෙන ඒම සදහා යමින් සිටියදී මෙසේ අනතුරට පත් වී ඇත.

අනතුරින් කුඩා දරුවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර,සෙසු තුවාලකරුවන් මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත. මුන්දලම පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

පුත්තලම – ජුඩ් සමන්ත