Top Story

යාපනය තිස්ස විහාරයේ ඉඩම් බලෙන් අල්ලන්න සූදානමක්

උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමේ වැඩසටහන යටතේ යාපනයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස රජමහා විහාරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බව වාර්තා වෙයි.

කන්කසන්තුරේ, හයිඩ් ඩී හි උලදන්කලට්ටි පිහිටි තිස්ස විහාරයට අක්කර හතහමාරක (7 1/2) භූමියක් පැවැති බව මුල්ම සිතියම් අධ්‍යයනයෙන් සනාථ වෙයි.

දේවානම්පියතිස්ස රජු බුදුදහම වැලඳගෙන පළමු වසර ඇතුළත යාපාපටුනේ ඉදි කළ විහාර ලෙස දඹකොළපටුන, කදුරුගොඩ, හා තිස්ස විහාරය හඳුන්වන බව මහා වංශයේ විසිවැනි පරිච්ඡේදයේ සඳහන් වන එම පාතකඩ විමලඥාන හිමියෝ පැවසූහ.

කෙසේ වෙතත් පනස් ගණන්වල ඇති වූ ගැටුම් සමග එවකට එම විහාරයේ විහාරාධිපතිව සිටි කළුතර පඤ්ඤානන්ද හා කළුතර ශීලාධාර යන හිමිවරුන්ගේ ඇවෑමෙන් විහාරය පාළුවට ගොස් ඇත.

ඒ සමඟම එම විහාර භූමියට අයත් අක්කර තුනක පමණ කොටසක යුදගැටුම් පැවැති සමයේ යුදහමුදා කඳවුරක් ස්ථාපිත කර තිබේ.

පන්සල සඳහා අක්කරයකට වැඩි භූමියක් ඉතිරි කර සෙසු භූමියද මේ වනවිට දෙමළ ජාතිකයින් අත්පත් කර ගෙන ඇත.

විහාරයේ තිබූ චෛත්යය හා ඝණ්ටාර කුළුනද ඒ කාලයේම ඩෝසර් කර දමා විනාශ කර ඇති බව ද වාර්තා වේ. එහි තිබූ බෝගසද 2013-2014 කාලයේදී කපා දමා විනාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම 31 වැනි දිනට පෙර උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීම සඳහා එම ඉඩම්වල පිහිටි යුදහමුදා කඳවුරු ඉවත් කිරීමත් සමඟ මෙතෙක් කලක් තිස්ස විහාර භූමියේ කඳවුරුලා සිටි යුද කඳවුරුද ඉවත් කිරීමට නියමිතය.