Top Story

රජයේ නිවාඩු නිකේතන සංචාරක මණ්ඩලය යටතට

රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන සංචාරක අමාත්‍යාංශයට පරවා ගෙන ඒවා සංචාරක මණ්ඩලය යටතේ පාලනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.

දොපර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන පන්සියයට වැඩි ප්‍රමාණයක් රටපුරා ප්‍රධාන නගර ආශ්‍රිතව පවතී.

අනුරාධපුරය, නුවරඑළිය, මහනුවර, කතරගම, යාපනය, පොළොන්නරුව ආදී සෑම දිස්ත්‍රික්කයකම මෙසේ නිවාඩු නිකේතන ඇත.

ඒවා අදාළ ආයතනවල සේවකයින්ගේ සුබසාධනය උදෙසා පවත්වාගෙන යන අතර ඔවුන්ගේ පවුල් සඳහා සහනදායී මුදලකටද ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් ‘අරුණ’ රාජ‍්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති එච්.ඒ. පියදාසගෙන් කළ විමසීමේදී එම යෝජනාව මීට පෙර අවස්ථා දෙකකදී ඉදිරිපත්වූ බවත් ඊට එරෙහිව විරෝධය පළ කිරීම නිසා එම යෝජනාව හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවූ බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංගගෙන් කළ විමසීමේදී පැවැසුවේ එවැනි යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි.