News

කොරෝනා දෙවැනි රැල්ලක් ගැන රනිල් කියන කතාව

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලැබුණොත් කොවිඩ් -19 වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කරන බව එහි නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.

හෙතෙම සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28 වැනිදා) ආරම්භ කරමිනි.

ඔහු පෙන්වා දෙන්නේ එජාපයේ එකම අරමුණ ආණ්ඩු බලය ලබාගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල්ගැසීම නොවන බවයි.

රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඇත්තේ එජාපය තුළ පමණක් බව පැවසූ රනිල් වික්‍රමසිංහ තම ගිවිසුම ඇත්තේ ජනතාව සමග මිස ආණ්ඩුව සමග නොවන බවද පැවැසීය. එහිදී වැඩදිරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

‘‘මේ පාර්ලිමේන්තු මැතිවරණය සාමාන්‍ය මැතිවරණ ව්‍යාපාරයක් නෙවෙයි. මෙය ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන ව්‍යාපාරයක්. මේක පක්ෂයක් ගැනවත් පුද්ගලයෙක් ගැනවත් නොවෙයි. අපේ ආර්ථිකය ආරක්ෂා කර ජනතාවගේ අනාගතය තහවුරු කළ හැක්කේ අපට පමණයි.

දැනට රැකියා ලක්ෂ ගණන් නැතිවෙලා තියෙනවා. ආදායම් අඩුවෙලා තියෙනවා. බඩු මිල වැඩිවෙනවා. මම අහන්නේ මේ වගේ තව මාස හයක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. කොරෝනා නිසා රටවල්වල ආර්ථිකයට පහර වැදුණා.

නමුත් රටවල් ගණනාවක ආණ්ඩු තමන්ගේ ජනතාව ආරක්ෂා කළා. ඒත් මාස අටක් බලයේ ඉන්න මේ ​පොහොට්ටුවට ඒ වැඩේ කරන්න බැරි වුණා. මේ ආණ්ඩුව අසාර්ථකයි.

මේවාට විසඳුම් දෙන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. අපි සූදානම් ඒ වගකීම භාරගන්න. අපිට විතරයි පළපුරුද්ද තියෙන්නේ රටේ ආර්ථිකය හදලා. මේ රටේ විශාල විදේශ විනිමය හිඟයක් තියෙනවා. තවම ඒකට මුදල් සොයාගෙන නැහැ.

ඒ ප්‍රශ්නය විසඳනකල් වෙන එක ප්‍රශ්නයක්වත් විසඳන්න බැහැ. රුපියල් බිලියන 450ක් අච්චු ගැහුවා කියලා මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. අපට අපනයන වෙළෙඳාම ආරක්ෂා කරන්න වෙනවා. දේශීය වෙළෙඳාම ආරක්ෂා කරන්න තියෙනවා. ඒ වගේම කොරෝනා වයිරසයේ පළමු වටය පාලනය කරන්න රජය පියවර ගත්තා. ඒ පියවර හරි නිසා අපිත් ඒ පියවරට සහය දුන්නා. සමහර අය මට කිව්වා මේක ඩීල් එකක් කියලා. මට ඕනෑ ජනතාවගේ ජීවිත බේරා ගන්න.

හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධාන කියන්නේ දෙවැනි වටයක් එනවා කියලා. දෙවැනි වටය පාලනය කරන්න බැහැ. මේ පොහොට්ටු ආණ්ඩුව අද වෙනකන් ඒ දෙවැනි වටයට ක්‍රමවේද ඉදිරිපත් කරලා නැහැ.

ඒ වගේම අද ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් තියෙනවා. මේ පක්ෂයෙන් තමයි ජේ.ආර්. ජයවර්ධන මේ රට හදලා අලුත් ආර්ථිකයක් හදලා ලෝකයට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත් කළේ.

අපි ඉන්නේ රට පාලනය කරන්න. ඒ වරම තමයි අපි ඉල්ලන්නේ. අපි ගෑස් සිලින්ඩර නෙවෙයි. අපි ඉන්නේ ප්‍රතිපත්තියක. සමහර අය කියනවා අපි ආණ්ඩුව සමග ගිවිසුම් ගහලා කියලා. අපි ආණ්ඩුව සමග සම්මුතිවලට බැඳිලා නැහැ. අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේ.

අපිට මඩ ගැසීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න අලියා ලකුණ ඉදිරියේ කතිරය ගසන්න කියලා’’

 

චාමර පල්ලේගෙදර