රත්නපුරේ 78කට කොවිඩ් බෝවෙලා
මේ වන විට කොරෝනා ආසාදිත 78 දෙනකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කළාය. ඇය මේ බව සඳහන් කළේ පෙරේදා (4 වැනිදා) පැවැති රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වයිරස් මර්දන කාර්ය සාධක බළකා කමිටු රැස්වීම අමතමිනි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අකිල සාලිය එල්ලාවල හා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්වුණි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසා සිටියේ මේ වන විට සබරගමුව ජනතාව තුළින් රෝගීන් හමුවීම අවම වී ඇති බවයි. මේ වන විට කොවිඩ් ආසාදිතයන් සියලුදෙනාම පාහේ වාර්තා වන්නේ නිරෝධායනයට ලක්ව සිටින පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසල, බ්‍රැන්ඩික්ස් ආයතනය හා වරාය හා ආශ්‍රීත රෝගීන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයන් අතරින් බවද ඔහු පැවැසීය.
මෙහිදී අදහස් පළකළ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසා සිටියේ, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ කැපකිරීම් මත ඉදිරි සති දෙක තුන තුළදී සබරගමුව පළාතේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවන බවට තමන් විශ්වාස කරන බවයි. සමස්ත ජනතාවගේ සහයෝගය ඒ වෙනුවෙන් නොඅඩුව ලැබිය යුතු බවත්, මේ වන විට ජනාධිපතිතුමා ඇතුළු රජයේ උපදෙස් මත සබරගමුව පළාතේ නිරෝධායනය වන පවුල් 3000 කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
සුනිල් පියතිලක-කුරුවිට
