News

රාජ්‍ය සේවක වැඩට පැමිණීම ගැන විගණකාධිපති සොයා බලයි

රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඒ ඒ ආයතන හා දෙපාර්තමේන්තුවලින් වාර්තා කැඳවීමට ජාතික විගණන කාර්යාලය තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය සේවකයන් සියලු දෙනා තවමත් සේවයට වාර්තා නොකිරීම පිළිබඳව ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රාජ්‍ය සේවකයන්ගෙන් තුනෙන් එකක් පමණක් සේවයට පැමිණීම ප්‍රමාණවත් බවට ජනාධිපති මාධ්‍ය අංශය කලින් දැනුම් දුන් අතර ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාව මත සේවකයන් කැඳවීමේ වගකීම ආයතන ප්‍රධානියාට පැවරෙන බව ඉන් පසුව දැනුම් දෙනු ලැබිණි.

ඉකුත් මාර්තු මාසයේ සිට මේ දක්වා අඩු දින ගණනක් සේවයට වාර්තා කළ සේවකයන් විශාල පිරිසක් සිටින බවට ද ජාතික විගණන කාර්යාලයට තොරතුරු ලැබී තිබේ.

සියලුම රාජ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීමේ කිසිදු ගැටලුවක් මේ වන විට නොමැති නමුත් රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම සීමා කිරීමේ ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය දඩමීමා කර ගනිමින් සේවකයන් නොපැමිණෙන අවස්ථා දක්නට ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

කොවිඩ් වයිරස් තත්ත්වය මත සේවකයන්ගේ පැමිණීම සීමා කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි ද එම නිලධාරීයා කීවේය. මේ අතර ඇතැම් ආයතනවල සේවකයන් සේවයට වාර්තා නොකර දේශපාලන කටයුතුවල නියැළෙමින් සිටින බවට ද තොරතුරු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

නිලන්ත මදුරාවල