රු. මිලියන 250ක් වැය කළත් දවසකට පී.සී.ආර්. 4000ක් බැහැ
පී.සී.ආර්. පරීක්ෂණ 4000ක් දෛනිකව කළ හැකි බව ප්‍රකාශ කරමින් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) ඉදිකළ නව රසායනාගාරයෙන් අපේක්ෂිත ධාරිතාව නොලැබෙන බව පැවසේ.
මේ පිළිබඳ සොයා බලන්නැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
මෙම රසායනාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 250ක් වැය කර ඇත. ඊට පී.සී.ආර්. පරීක්ෂණ කළ හැකි නවීන යන්ත්‍රයක්ද සවිකර තිබේ. එමගින් පී.සී. ආර්. පරීක්ෂණ 4000ක් දෛනිකව සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් ප්‍රකාශ කරයි.
කොළඹ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මහතා මෙසේද කියා සිටියේය.
‘‘මෙම රසායනාගාරයට දකුණු කොළඹ ශික්ෂණ රෝහලට දානපතියකු විසින් පරිත්‍යාග කළ යන්ත්‍රයද රැගෙන ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනවා. එම යන්ත්‍රය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව රසායනාගාරයේ ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියත් එය ව්‍යර්ථ වුණා. මේ ආකාරයට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නව පී.සී.ආර්. යන්ත්‍ර දෙකක් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ ධාරිතාව ලැබෙන්නේ නැහැ. එය ගැටලුකාරී තත්ත්වයක්. එම වරද සොයා බැලිය යුතුයි.’’ යනුවෙන් ඔහු පැවසීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසුවේ පී.සී. ආර්. පරීක්ෂණ 4000ක් සිදු කළ හැකි යන්ත්‍ර සෞඛ්‍ය පද්ධතියේ නොමැති බවයි. දිවයින පුරා ස්ථාපිත කර ඇති රසායානගාර 20න් දෛනිකව සිදු කළ හැකි පී.සී. ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 5000ක්. දකුණු කොළඹ ශික්ෂණ රෝහලට පරිත්‍යාග කළ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ රසායනාගාරයේ ස්ථාපිත කර ඇත්තේ තාවකාලිකවය. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නව රසායනාගාරයටද නව යන්ත්‍රයක් ලබා දුන්නා. මෙම යන්ත්‍ර දෙකෙන්ම දෛනිකව සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1200ක් පමණ වෙනවා යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසුවේය.
උදයජීව ඒකනායක
අශිකා ජයවීර
