News

දුම්වැටි

රු. ලක්ෂ 28ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග තිදෙනෙකු කොටුවෙයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මොවුන් තිදෙනා අතරින් එක් අයෙකු 35 හැවිරිදි කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවත්, අනෙක් පුද්ගලයා හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි.

මොවුන් ඊයේ (09) උදෑසන 6.30ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. – 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ.

මෙහි තුන්වන පුද්ගලයා 37 හැවිරිදි කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

මොහු ඊයේ (09) උදෑසන 8.30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් තිදෙනාම ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” පිටතට යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මොවුන් ගෙන විත් තිබූ ගමන් මලු තුළ තිබී මෙම ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගය අත් අඩංගුවට ගෙන තිබුණා.

මෙයින් පළමු ගුවන් මගීන් දෙදෙනා රැගෙන විත් තිබූ ගමන් මලු තුනකත්, කුරුණෑගල ගුවන් මගියා ගෙන විත් තිබූ එක් ගමන් මල්ලකත් මෙම දුම්වැටි තොගය සගවා ගෙන තිබූ අතර, මෙම ගමන් මලු තුළ මෙම දුම්වැටි තොගය හැර, මොවුන්ගේ ඇදුම් හෝ වෙන කිසිවක් නොතිබුණු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

රුපියල් 28,95,000 ක් වටිනා දුම්වැටි 57900 ඇති දුම්වැටි කාටූන් 287ක් සහ දුම්වැටි පැකට් 50 ක් ද තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.