රූපලවන්‍ය

ලංකාවේ රැඩිකල්ම ගෑනි කවුද ඇහුවොත් මුලින්ම ඩෙනිම ඇඳපු කෙනා පෙන්වන්න

මේක 1870දී වෙච්චි වැඩක්. ජාකොබ් ඩේවිස් කියන්නේ ඇමරිකාවේ හිටපු ඇඳුම් මහන්නෙක්. දවසක් පතලක වැඩ කරන මනුස්සයෙක් ඇවිල්ලා ඩේවිස්ට මේන් මෙහෙම කිව්වා.

“ඩේවිස් බර වැඩ කරද්දි හැමදාම මගේ කලිසම් ඉරෙනවා. ගෙදර උන්දගෙන් පුදුම කන්කරච්චලයක්. අනේ බැරි වෙයිද මට ඉරෙන්නේ නැති කලිසමක් මහලා දෙන්න?”

ඉරෙන්නේ නැති සුපිරි කලිසමක් මහලා දෙන්න ඩේව්ස් ඕඩරේ බාරගත්තා. ඒ කරලා කෙළින්ම ගියේ ලෙවී ස්ට්‍රාවුස් ගාවට. ඩේවිස් ඇඳුම් මහන්න රෙදි ගන්නේ ඔහුගෙන්. කපු වැඩිපුර දාලා ඔහු හදලා දුන්නා ඩේවිස්ට ඩෙනිම් රෙද්දක්. ඔහු ඒක අරන් ගිහින් ඉරෙන්න පුළුවන් කියලා හිතෙන තැන්වල සාක්කු කාරිය තියලා තඹ බොත්තම් හයි කළා රිවට් ක්‍රමේට. මේ හදාපු කලිසම කොච්චර හයියට ආවද කියනවා නම් ඒකට පේටන්ට් බලපත්‍රයක් ගන්න ඕනේ කියලා ඩේවිස් එවෙලේම හිතුවා.

මුලින්ම හදාපු ඩෙනිම් කලිසමට පේටන්ට් එක ගත්තයින් පස්සේ ඩේවිස් ලෙවී එක්ක එක්කහු වෙලා ඩෙනිම් විකුණන්න ගත්තා. හැබැයි ඉතින් ඩෙනිම් ඇන්දේ බර වැඩ කරපු පිරිමි අය.

ඔය කාලේ ගෑනුත් හරි හරියට බර වැඩ කළා. හැබැයි ඡන්ද අයිතියවත් කරන වැඩේට සරිලන වැටුපක්වත් ඒ අයට ලැබුණේ නැහැ. පිරිමියෙක් වාගේ කලිසමක් අඳින්න ඕනේ කියලා එලිසබෙත් ස්ම්ත් මිලර්ට හිතුණේ ඒ අසාධාරණකම්වලට හඬක් නගන්න ඕනේ නිසයි. ඉතින් ඇය ඇන්දා ඩෙනිම් කලිසම. ඉතිහාසේ පළවැනි වතාවට.

“ලැජ්ජ නැති ගෑනියෙක් කලිසමක් ඇඳලා…”

එලිසබෙත් ගැන මාධ්‍යවල පළවුණේ එහෙමයි. ඒ කාලේ කොහොම කයිකතා හැදුනත් ඇමරිකාවේ අයිතීන් වෙනුවෙන් සටන් කරපු කාන්තාවක් විදියටයි එලිසබෙත් ඉතිහාසගත වුණේ.

“ලංකාවේ රැඩිකල්ම ගෑනි මුලින්ම ඩෙනිම ඇඳපු ගෑනි. මොකට ඒ ගෑනිට තරම් ඔය එක ගෑනියෙක්ටවත් ප්‍රශ්න එන්න නැතිව ඇති.”

ගෑනියෙක් කලිසමක් අඳින එක ආනන්තරීය පාපකර්මයක් ගානට සලකපු ඒ කාලේ බය නැතිව කලිසමක් ඇඳපු කාන්තාව ගැන ඔහොම කිව්වේ ප්‍රකට ලේඛකයෙක් වෙච්චි ලියනගේ අමරකීර්ති. හැබැයි මුලින්ම ඩෙනිමක් ඇඳපු බවලතිය කවුද කියන එක ගැන එහෙමට සඳහනක් නැහැ. ඒ කවුරු වුණත් අපිට ලස්සනට හැඩට ඩෙනිම් අඳින්න පාර කැපුවට පිං!

දෙයියනේ කියලා නිදහසේ ඩෙනිම් ඇඳලා ගෑනුන්ට පාරේ යන්න ඒ කාලේ අය අරගල කොරාට අද කාලේ එව්වෝ හරි විදියට ඩෙනිම් අඳින්න දන්නේ නැති එකනේ වැඩේ. තමන්ගේ ඇඟට ගැළපෙන්න ඩෙනිම් කලිසම් තෝරගන්න විදියයි, එව්වා කාලයක් පාවිච්චි කරන විදියයි ගැන කයිවාරුවක් ගහන්න හිතුවේ ඒකයි.

ඩෙනිම් ගැන කතා කරද්දි මුලින්ම දැනගන්න ඕනෙ ඩෙනිම් වර්ග ගැන ටික ගැනයි. ඉන ගාවින් (Waist) ගත්තුවාම ඩෙනිම් වර්ග තුනක් තියෙනවා. එකක් ලෝව් රයිස් (Low rise). ඒ කියන්නේ නාභියෙන් (බුරිය) පහලට වෙන්න අඳින ඩෙනිම්. බඩ ටිකක් කැපිලා පේන විදියට ඩෙනිම අඳින්න කැමති නම් මේ වර්ගය අපූරුයි.

ඊගාවට මිඩ් රයිස් (Mid rise). හරියටම නාභිය මැදට වෙන්න අඳින ඩෙනිම. අවසාන එක හයි රයිස් (High rise) මේ කියන්නේ නාභියෙන් ඉහළට වෙන්න අඳින එක. හයි වේස්ට් (High waist) කියලා කිව්වමයි ගොඩක් අය මේ වර්ගය දන්නේ. තමන්ගේ බඩේ ප්‍රමාණය, ඇඟේ හැඩය වගේ දේවල් බලලා මේ වර්ග තෝරගන්න ඕනේ. කෙට්ටු උදවියට මේ කිව්ව තුන් වර්ගයම අඳින්න පුළුවන්. හැබැයි මහත කෙනෙක්ට ගොඩක්ම ගැළපෙන්නේ හයි වේස්ට් ඩෙනිම. 

ඊළඟට අපි බලන්න ඕනේ ලෙග් කට් එක. ඒ කිව්වේ ඩෙනිමේ කකුල ගැන. කකුල්වල හැඩ අනුවත් ඩෙනිම් වර්ග කිහිපයක්ම තියෙනවා.

ස්කිනි ජීන්ස් (Skinny Jeans). ඇඳපුවාම ඇඟට තදවෙලා කකුල්වල හැඩය මතුවෙලා පේන ඩෙනිම් වර්ගයට තමයි ස්කිනි ජීන්ස් කියන්නේ. පෙන්සිල් කට් කියලත් මේවට කියනවා. මේ ඩෙනිම් වර්ගය ටිකක් ඇදෙනවා. ඒ වගේම මේවා ඇන්දාම ඇඟ හැඩට පේනවා. සිහින් දිග කකුල් තියෙන කෙනෙක්ට මේක ගැළපෙනවා. ටිකක් මහත ඇඟක් තියෙන කෙනෙක්ටත් මේවා නරක නෑ. 

ස්ට්‍රේට් ලෙග් ජින්ස් (Straight leg Jeans). උකුල ප්‍රදේශයේ ඉඳලාම කකුල්වල පහල දක්වාම එකම පළලකින් තියෙන කලිසම්. කකුල්වල දිග පෙන්වන්න මේක මරු. ඉතින් උස කෙනෙක්ට ටක්කෙටම ගැළපෙන ඩෙනිම් වර්ගය මේක.

තව ඩෙනිම් වර්ගයක් තමයි වයිඩ් ලෙග් ජීන්ස් (Wide leg Jeans). කකුල් ගොඩක් පළල් විදියට තියෙන විලාසිතාවක්. මේකත් උස කෙනෙක්ට ගොඩක් ගැළපෙනවා.

බූට් කට් ජීන්ස් (Boot cut Jeans). මෙතැනදි කකුල්වල ඉහළ කොටස කකුලට ඇලිලා වගේ තියෙනවා. කකුල්වල පහල කොටස පළලයි. ඉස්සර මේ ජාතියට එල්විස් ප්‍රෙස්ලි කලිසම් කියලා කිව්වා. ලෝක ප්‍රකට ගායකයෙක් වුණ එල්විස් ප්‍රෙස්ලි මේ ජාතියේ ඩෙනිම් කලිසම් ඇඳපු එකයි ඒකට හේතුව.

තව ඩෙනිම් කලිසම් ජාතියක් තමයි ෆ්ලෙයාර්ඩ් ජීන්ස් (Flared Jeans). මේ ජාතියෙදිත් කලිසම උඩින් කකුල්වලට ඇලිලා තියෙනවා. හැබැයි දණිසෙන් පහළට ක්‍රමයෙන් කකුල පහලට විහිදිලා යනවා. කලිසම් කකුල අවසාන වෙද්දි ලොකු පළලක් තියෙනවා. සිරුරේ හැඩය පෙන්වන වගේම උස පෙන්වන්නත් මේ ජාතිය හරි.

මම්ස් ජීන්ස් (Moms Jeans). 70 දශකයේදී අම්මලා අතර ජනප්‍රිය වුණු ඩෙනිම් විලාසිතාවක්. පරණ ඩෙනිම් විලාසිතා කාලෙන් කාලෙට මතුවෙනවනේ. මේ ජාතියත් ඔන්න දැන් ආයේ තියෙනවා. මේ කලිසම් ජාතියේ පසුපස, උකුල පළල් විදියට පිහිටලා තිබුණත් ඇඳුම කකුල්වලින් ඇඟට තදවෙනවා.

අවසාන ඩෙනිම් ජාතිය තමයි ​බෝයිෆ්‍රෙන්ඩ් ජීන්ස් (Boyfriend Jeans). ඉන ටිකක් පහළට වෙන්න තියෙන මේ ඩෙනිමේ කකුල් ටිකක් තදයි. මේකත් මම්ස් ජීන්ස් කලිසමට ටිකක් සමානයි. 

ඩෙනිම් වර්ණ ගතිපුවාම තද නිල්. ළා නිල් වගේම ඔය දෙක අතරමැද තියෙන මධ්‍යම පාටකුත් තියෙනවා. ඩෙනිමක් තෝරගන්නකොට බලන්න ඕන දේවල් ගැන දැන් අපි කතා කරමු. කලිනුත් කිව්වා වගේ මුලින්ම බලන්න ඕනේ තමන්ගේ ඇඟේ ප්‍රමාණය සහ හැඩය. ටිකක් මහත කෙනෙක් හයිවේස්ට්, ස්කිනි ජීන්ස් වගේ ඩෙනිම් තමයි හොඳින්ම කැපෙන්නේ. ඇඟ අඩු කෙනෙක්ට වයිඩ් ලෙග් ජීන්ස්, බූට්කට් වගේම ස්ට්‍රේට් ලෙග් ජීන්ස්සුත් හොඳයි. බූට්කට්, ස්ට්‍රේට් ලෙග් වගේම වයිඩ් ලෙග් ඕනම ශරීර හැඩයක් තියෙන කෙනෙක්ට අඳින්න පුළුවන්. 

ඩෙනිම් ගන්නකොට සාක්කුව ගැනත් බලන්න. ඩෙනිම් කලිසමේ ලොකු සාක්කු තියෙනවා නම් පසුපස ප්‍රදේශය පොඩියටයි පේන්නේ. එතකොට පස්ස පොඩි කෙනෙක් මේ ජාතිය ඇන්දොත් වෙන්නේ තියෙන පස්සත් අඩුවෙලා පේන එකයි. හිතන්නකෝ පසුපස ටිකක් ලොකු කරලා පෙන්වන්න ඕනේ කියලා. එතකොට කරන්න තියෙන්නේ පොඩි පොකට් තියෙන කලිසම් ගන්න එක. ඒ වගේම කලිසම උඩට පේන්න පොකට් තියෙද්දි පසුපසේ හැඩය වැඩිවෙනවා. සාක්කු ටිකක් පහලට වෙන්න තියෙද්දිත් පස්ස අඩුවෙනවා. පොකට් දෙක ටිකක් ඈතට වෙන්න පිහිටලා තියෙද්දිත් පසුපස ලොකුවෙලා පේනවා. ඩෙනිමේ සාක්කුවට උඩින් තියෙන ඉර V හැඩයට තියෙන එකත් ඩෙනිමක් ඇඳපුවාම පස්ස හැඩවෙන්න හේතුවක්.

ඊගාවට බලන්න ඩෙනිම් එකේ ශේඩින් එක. ඒ කියන්නේ අර ඩෙනිම්වල ළා සුදු පාටට තියෙන කොටස. ඩෙනිම්වලට මේ ශේඩින්ස් දාන්නේ 3D පෙනුමක් ඇවිල්ලා ඇඟ හැඩවෙලා පේන්න. කුඩා පසුපසක්, හීනි කකුල් තියෙන කෙනෙක්ට ඒ තැන් ටිකක් මතුකරලා පෙන්වන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඒ තැන්වල ශේඩින් තියෙන ඩෙනිම් අඳින එකයි.

ඔය ටික ගැනත් හිතලා දැන් අපි ඩෙනිමක් ගන්න යමු. ඒ යනකොට ඉනයි, උකුලයි, කකුලේ ප්‍රමාණයයි මැනගෙන යන්න. 

ඉස්සෙල්ලාම ඩෙනිම අතට අරන් ඒකේ කපු (Cotton) ප්‍රතිශතය බලන්න. කපු ප්‍රතිශතය 98%ට වැඩිනම් ඒක හොඳ ප්‍රමිතියේ එකක්. ​ඇදෙනසුළු ඩෙනිම්වල කොට්න් ප්‍රතිශතය අඩුයි. ඒකේ වැඩි ඉලාස්ටික්. ඇදෙනසුළු ඩෙනිම් ගන්නවා නම් ඇඟේ ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන් ගන්න. උදාහරණයක් විදියට ඉන 35 නම් 34 ගන්න. ඇදෙන්නේ නැති හොඳ කොට්න් එකක් නම් ඉන 35 නම් ගන්න ඕනේ 36.

ඒ වගේම ඩෙනිමක් ගනිද්දි ශිප් එක ඇරලා වහලා බලන්න. ටිකක් දිග ශිප් තියෙන ඩෙනිම් ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඩෙනිමක් ගනිද්දි කවදාවත් ඇස් මට්ටමට බලලා ගන්න යන්න එපා. ගන්න කලින් අනිවාර්යයෙන්ම ඒක ඇඳලා බලන්න. ඇඳලා එහෙට මෙහෙට හැරිලා, බිමට පහත් වෙලා, ස්කොට් එකක් එහෙම ගහලා බලන්න. 

ඔය විදියට හොඳ ඩෙනිමක් තෝරගත්තොත් අවුරුදු 3ක් විතර අඳින්න පුළුවන්. හැබැයි ඒවා පරිස්සම් කරගන්නත් විදියක් තියෙනවා. පළවැනි දේ අඩුවෙන් හෝදන එක. අඳින අඳින සැරේට සෝදන්න ගියොත් ඩෙනිම පරඬැල් වෙනවා සහතිකයි. ඒ නිසා කිලුටු වුණාම විතරක් සෝදන්න. ඒ කියන්නේ හතර පස් පාරක් ඇඳලා සේදුවම ඇති.

ඒ සෝදන්න ඕනෙත් මෙහෙමයි. සීතල වතුර ටිකකට රෙදි සේදුම් දියර ටිකක් දාන්න. සේදුම් කුඩු ඩෙනිම්වලට ඒ තරම් හිතකර නැහැ. ඒ දාලා ඩෙනිම විනාඩි 10ක් පොඟවලා හෙමීට අතුල්ලලා සෝදන්න. ඔය වතුරවලට සුදු විනාකිරි ටිකක් දැම්මොත් තවත් හොඳයි. හොඳට සෝදපු ඩෙනිම තදට මිරිකන්නේ නැතිව අව්වෙන් වේලගන්න බලන්න. කාලයක් යද්දි ඩෙනිමේ පාට ගියොත් ඩෙනිම්වලට දාන්න පුළුවන් ඩයි කඩෙන් ගන්න තියෙනවා.

ඩෙනිම් කියන්නේ මේ ලෝකෙන් කවදාවත් නැතිවෙන්නේ නැති විලාසිතාවක්. හැබැයි කාලෙන් කාලෙට ඩෙනිම් ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙනවා. ඉතින් ඒ ට්‍රෙන්ඩ්ස් ගැන කල්පනාවෙන් ඉඳලා ඒවා අනුගමනය කරන්නත් අමතක කරන්න එපා කෙල්ලනේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි