ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් කරමු
පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසුවේය.
ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟාකරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගුදම් පහසුකම්, බහලුම් අංගණ, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (15 වැනිදා) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අදහස් පළ කළේය.
බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බවද පෙන්වා දුන්නේය.
‘‘කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතුය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගණ, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි’’ යනුවෙන්ද හෙතෙම කීවේය.
රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
රජය මැදිහත්වී ඉන්ධන ගබඩා ටැංකි ඉදිකර නැව්වලට ඉන්ධන සැපයීම කළ යුතු යැයි පැවසූ ජනපති, විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්රාංගණයක් ඉදිකිරීමටද අනුමැතිය දුන්නේය.
