ලබන වසරේ සිට දෙවැනි පන්තියට 40ක්
ලබන වසරේ සිට දෙවැනි ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ ගුරු සහායකයින් බඳවා ගන්නේ නම් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබී ඇති අවසරය අනුවය. පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 35කට සීමා කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුව මේ වන විට දෙක, තුන, හතර සහ පහ ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව 40කට සීමා වෙයි. වසරින් වසර ගුරු සහායකයින් බඳවා ගැනීමේ හැකියාව අනුව අනෙකුත් ශ්‍රේණිවල පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව ද 40 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කීවේය.
බඳවා ගන්නා ගුරු සහායකයින් පාසල්වල දෙවැනි ශ්‍රේණියට ලබා දෙන බවත් ඒ අනුව ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කර ගැනීමට හැකි වනු ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ලබන වසරේ (2021) පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට අදාළව මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර සම්මුඛ පරීක්ෂණ ද ආරම්භ කර ඇති හෙයින් පළමු ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව ලබන වසරේ දී වැඩි කිරීමට හැකියාවක් නැතැයි ද පළමු ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට හැකි වන්නේ 2022 වසරේ සිට යැයි ද එම නිලධාරියා කීවේය.
•නිලන්ත මදුරාවල
