Top Story

ලබන වසරේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාවයි

2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ඒ ලෝ සුපතල ‘ලෝන්ලි ප්ලැනට්’ මාර්ගෝපදේශන ප්‍රකාශනය විසින්.

2009 වසරේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු වඩාත් පහසුවෙන් සංචාරය කිරීමට හැකිවීම යන්න මෙවර ශ්‍රී ලංකාව නම් කිරීමට ප්‍රධාන හේතුව ලෙස සඟරාව පවසයි.

ඒ අනුව 2019 වසරේ සංචාරය කිරීම සඳහා ලොව හොඳම ස්ථාන 10 අතර පළමු ස්ථානයට ශ‍්‍රී ලංකාව තේරී පත්වී තිබේ.

සංචාරක කර්මාන්තය අතරින් ඉහළම ස්ථානවල සිටින ජර්මනිය, සිම්බාබ්වේ, පැනමා සහ ඉන්දුනිසියාව වැනි රටවල් අභිබවමින්
ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇති බව ‘ලෝන්ලි ප්ලැනට්’ මාර්ගෝපදේශන ප්‍රකාශනය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ තංගල්ල වෙරළ තීරය, ඇල්ල ප්‍රදේශය දක්වා දුම්රියෙන් සිදුකරන සංචාරය, පූජනීය භූමි අතරට ශ‍්‍රී ලංකාවේ අනුරාධපුරයද, සංස්කෘතික නගරයක් ලෙස මහනුවරද ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින් සංචාරය කිරිමට සුදුසු ස්ථාන ලෙස නම් කර තිබේ.

එමෙන්ම පේරාදෙණිය උද්භිද උද්‍යානයද, සර්ෆින් සඳහා ලොව සුපතළ ආරුගම්බේ වෙරළ තීරයද, දේශිය ආහාර විවිධත්වය, මෙරට තේ නිෂ්පාදනයද මෙම නිර්දේශ කිරීමට තවත් හේතු ලෙස සඟරාව පෙන්වා දෙයි.

‘‘lonely planet’’ ජාත්‍යන්තර සඟරාවට අනුව නැගෙනහිර ආසියාවේ හොඳම වන ජීවී කලාප අතරට උඩවලව ජාතික උද්‍යානයද ඇතුළත් කර තිබේ.

එමෙන්ම ගාලු කොටුව මෙන්ම සිංහරාජයද ඇතුළු සුවිශේෂ ස්ථාන රැසක් මෙවර  ‘ලෝන්ලි ප්ලැනට්’ මාර්ගෝපදේශන ප්‍රකාශනය විසින් සංචාරය කිරීමට සුදුසු තැන් ලෙස හඳුන්වා දී තිබේ.